කොණ්ඩය කපන්න රු 300ක ස්ථාවර මිලක්….

Photography of professional barber in saloon | Premium AI-generated image

මුතූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සියලුම කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථාන සඳහා නව ස්ථාවර මිල ගණන් සහ රෙගුලාසි මාලාවක් ඇතුළත් නිල නිවේදනයක් ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොණ්ඩය කැපීම සඳහා රුපියල් 300.00ක මිලක් නියමකර තිබෙනවා.
2026 පෙබරවාරි 16 වන දින පැවති සාකච්ඡාවකදී ගත් තීරණවලට අනුව මෙම නීති රීති 2026 පෙබරවාරි 20 වන දින සිට ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මුතූර් ප්‍රාදේශීය සභාව දැනට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාලනය යටතේ පවතිනවා. රූපලාවණ්‍යාගාර මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) විසින් නියම කර ඇති ව්‍යුහාත්මක සහ සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර සෞඛ්‍ය රීති උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බවයි සඳහන් වෙන්නේ. රූපලාවණ්‍යාගාර හිමියන් 2026 මාර්තු 5 වන දිනට පෙර ප්‍රාදේශීය සභාවෙන් වලංගු වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු අතර බලපත්‍ර රහිතව පවත්වාගෙන යන ආයතන වසා දැමීමට පියවර ගැනෙන බවයි වාර්තා වෙන්නේ. පාසල් සිසුන්ට නුසුදුසු යැයි සැලකෙන කොණ්ඩා මෝස්තර, මෝස්තර නිර්මාණ සහ වර්ණ ගැන්වීම් තහනම් වෙන අතර අවසර දෙනු ලබන්නේ පාසල් විනය රීතිවලට අනුකූල මෝස්තර සඳහා පමණයි.
ප්‍රාදේශීය සභාව විසින් නියම කර ඇති නව මිල ගණන් පහතින්.
කොණ්ඩය කැපීම – රු. 300.00
රැවුල බෑම – රු. 200.00
රැවුල සැකසීම (Design) – රු. 300.00
හිස මුඩු කිරීම – රු. 300.00
කොණ්ඩය කැපීම සහ රැවුල බෑම – රු. 500.00
කොණ්ඩය සහ රැවුල සැකසීම – රු. 600.00
අවුරුදු 10 ට අඩු පාසල් සිසුන් සඳහා – රු. 200.00
අවුරුදු 10 ට වැඩි පාසල් සිසුන් සඳහා – රු. 250.00

Share This