කොළඹ උතුරේ අපරාධ මැඬලීමට විශේෂ සන්නද්ධ යතුරුපැදි බලකායක්

කොළඹ උතුර පොලිස් කොට්ඨාසය තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කොල්ලකෑම් ඇතුළු අපරාධ මැඬලීම සඳහා විශේෂ යතුරුපැදි ඒකකයක් අද (26) දින සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ. කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම නව ඒකකය, කොට්ඨාසයට අයත් පොලිස් වසම් 09 ම සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ආවරණය වන පරිදි මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.
මෙම විශේෂ බලකාය යටතේ එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 03 බැගින් ලබා දී ඇති අතර, ඒ සඳහා විශේෂ පුහුණුවලත් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් හය දෙනෙකු බැගින් අනුයුක්ත කර ඇත. ඒ අනුව එක් යතුරුපැදියක සන්නද්ධ නිලධාරීන් දෙදෙනෙකු ගමන් කරනු ලබන අතර පැය 24 පුරාම මෙම සේවාව ක්‍රියාත්මක වේ. අපරාධයක් සිදුවූ ස්ථානයකට ක්ෂණිකව ළඟා වීම, සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීම සහ හදිසි මාර්ග බාධක යොදමින් වැටලීම් සිදු කිරීම මෙම ඒකකය මඟින් අපේක්ෂිත ප්‍රධාන කාර්යයන් වෙයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සඳහන් කළේ මෙම විශේෂ සන්නද්ධ යතුරුපැදි බලකාය හරහා ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, අපරාධකරුවන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් විශාල ශක්තියක් ලැබෙන බවයි. මෙම නව පියවර හරහා කොළඹ උතුර ප්‍රදේශයේ අපරාධ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.
