හොර ඔප්පු 25ක් හැදුවට පුත්තලමේ සභාපති අවුරුදු 10කට හිරේ
හොර ඔප්පු 26ක් හදා ඉඩම් විකිණීමේ චෝදනාවකට විභාග කෙරෙන නඩු 26ක් අතරින් එක් නඩුවක තීන්දුව ලබාදෙමින් හලාවත මහාධිකරණය පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයාට බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් නියම කළේය.
නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ විසින් අද (18) මේ දඬුවම් නියම කරන ලදි. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වූ නීතිඥ ප්‍රනාන්දුට එරෙහිව මේ නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ 2011 ජුනි 07 වැනිදා ය. එහි සඳහන්ව ඇත්තේ අක්කර 03, රූඩ් 02, පර්චස් 24ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවයි.
මේ නීතිඥවරයාට එරෙහිව හොර ඔප්පු සකස් කිරීමේ නඩු 25ක් තවදුරටත් විභාග වේ. ඔහු පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපතිවරයා ය.
