ජනවාරි මස සිට සියලු පෞද්ගලික සේවකයින්ගේ වැටුප් ඉහළට

2026 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත. 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතට අනුව, මෙම පියවර ගෙන තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ අතර ඒ අනුව පෞද්ගලික අංශයේ සෑම සේවකයකුගේම අවම මාසික වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන්නේය.
මීට සමගාමීව අවම දෛනික වැටුප ද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා වැඩි කර තිබේ.
අතරමැදියන් හෝ කොන්ත්‍රාත්කරුවන් හරහා සේවයේ යොදවා සිටින සේවකයන් සම්බන්ධයෙන් ද මෙම පනත ක්‍රියාත්මකය.
එහිදී ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද මෙම ගෙවීම් සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාල කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇත.
මෙම වැටුප් වැඩිකිරීම් නිසි පරිදි සිදු නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි ජපිගක්ඉදමරාැචඑලටදඩගකන ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
