ගුවන් යානය තුළදී හිමිනමකගේ මුදල් සොරාගත් චීන්නු දෙදෙනා අත්අඩංගුවට

(කටුනායක – ටී.කේ.ජී.කපිල)
දීගල්ලේ මහින්ද හිමියන් සතු රුපියල් හාර ලක්ෂ අනූතුන් දහස් අටසිය පනස්පහක් වටිනා විදේශීය මුදල් තොගයක් ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු 25 දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම හිමියන් 25 දින උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය කටුනායක බලාගමන් කරමින් තිබියදී, හිමියන් සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළියට ගොස් ඇති අතර එම ඇසිල්ලේ ගුවන් යානය තුළ වූ චීන ජාතිකයන් දෙදෙනෙකු උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබේ.
ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පළා ගොස් තිබූ අතර මේ පිළිබද වැඩිදුර සොයා බැලීමක් හිමියන් එම අවස්ථාවේ සිදු කර නොමැත.
පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසුව සිය නිශ්කාශන කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි සොයද්දී ගමන් මල්ල තුළ වූ විදේශ මුදල් තොගය නොමැති බව අනාවරණය වී තිබේ.
ඒ තුළ යූරෝ 250 ක්, ස්ටර්ලින් පවුම් 100 ක්, ඇමෙරිකානු ඩොලර් 250ක් සහ මැලේසියානු රිංගිට් 3,850 ක් ද විය.
වහා ක්‍රියාත්මක වූ හිමියන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, පොලීසිය ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය සදහා හිමියන් ද සමග පැමිණ තිබේ.
එහිදී එම චීන ජාතිකයන් වහ වහා ගුවන් තොටුපොළෙන් ත්‍රිරෝද රථයක නැගී පළා යන දර්ශන දැක ගත හැකි වූ අතර ගුවන් තොටුපොළ ත්‍රීරෝද රථ සංගම් වල සහායෙන් එම ත්‍රීරෝද රථය හඳුනා ගෙන, චීන ජාතිකයන් දෙදෙනා එම විදේශීය මුදල් තොගය සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ .
පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල් රැගෙන මෙම චීන ජාතිකයන් දෙදෙනා 26 දින කොළඹ කැසිනෝ ක්‍රීඩාව සදහා තමන් සැළසුම් කර තිබූ බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයන් වන්නේ 31 හැවිරිදි චෙන් මින් මින් සහ 58 හැවිරිදි චෙන් ක්‍රියු නැමැත්තන්ය.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපොළ සංචාරක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත, උප පොලිස් පරීක්ෂකවරුන් වන චන්දන, සචිල මධුෂාන් , පොලිස් සැරයන් 67744 හේරත් පොලිස් කොස්තාපල්වරුන් වන 77508 වීරකෝන්, 102313 වික්‍රමසිංහ යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.
26 දින මෙම චීන ජාතිකයන් දෙදෙනා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
