විදෙස් දුම්වැටි තොගයක් හොර රහසේ මෙරටට ගෙනා ව්‍යාපාරිකයින් තිදෙනාට ලක්ෂ 9ක් දඩ

(කටුනායක – ටී.කේ.ජී.කපිල)
රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් 25 දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් තිදෙනා අලුත්ගම යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙකි.
ඔවුන් 25 දින අලුයම 01.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 119,000ක් අඩංගු දුම්වැටි කාටූන් 595 ක් සඟවා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් කොස්තාපල් 77508 වීරකෝන් යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි.
25 දින මොවුන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය රාජසන්තක කර ඔවුන් තිදෙනාට රුපියල් ලක්ෂ 03 බැගින් රුපියල් ලක්ෂ 09ක දඩ මුදලක් ද ගෙවීමට නියෝග කර තිබේ.
