ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි එක්දින තරගය අද

 

(ඉෂාර ගයාෂාන්)
සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගය අද (14දා) පාකිස්තානයේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00ට දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වේ.
පළමු එක්දින තරගය පසුගිය 11 වැනිදා පැවැති අතර එම තරගය තියුණු තරගයකින් ලකුණු 6කින් ජයග්‍රහණය පාකිස්තානය කිරීමට සමත් විය.
දෙවැනි එක්දින තරගය ඊයේ (13දා) පැවැත්වීමට තිබුණත් පසුගිය 11 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරගය පැවති රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට කිලෝමීටර් 17ක් දුරින් ඉස්ලාම්බාද් නුවර සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු පාකිස්තානයේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පැවසීමත් සමග 12දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්සින් නක්වි අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාවක් ලබා දෙන බව සනාථ කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතිරි තරග ක්‍රීඩා කිරීමට තීරණය කිරීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තරග කාලසටහන වෙනස් කිරීමටද තීරණය කළේය.
ඒ අනුව සංචාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර විස්සයි-20 තුන්කොන් තරගාවලිය සඳහා සංශෝධිත කාලසටහනක් පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනය කළේය.
ඒ අනුව ඊයේ (13දා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය අද (14දා) දිනයටත්, 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගය 16 වැනිදාටත්, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 තරගාවලිය 18 සිට 29 වැනිදා දක්වාත් කල්තබා ඇත.ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේත් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් නව කාලසටහන අනුව සියලු තරග රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

 

Share This