රුහුණ සරසවි ආචාර්යවරු 7ක් මිලියන 69ක් විනාශ කරලා

රුහුණ සරසවි ආචාර්යවරු 7ක් මිලියන 69ක් විනාශ කරලා

(ලබුදුව යූ. එම්. තිලකරත්න/ රත්ගම ඊ.ඩබ්ලිව්. ගුණපාල)
උසස් අධ්‍යාපන ව්‍යාපෘති සහ සංවර්ධනය වේගවත් කිරීමේ ව්‍යාපෘතිය මගින් රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හත් දෙනෙකු සඳහා ආචාර්ය උපාධිය හැදෑරීමට රුපියල් මිලියන 69.67ක මුදලක් වැයකොට තිබුණද ඔවුන් උපාධිය සම්පූර්ණ නොකිරීම හේතුවෙන්’නැවත එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
උසස් අධ්‍යාපන ව්‍යාපෘති සහ සංවර්ධනය වේගවත් කිරීමේ ව්‍යාපෘතියෙහි ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙම මුදල් වැයකොට තිබුණි. විදේශීය ව්‍යාපෘති මගින්’ලබාදෙන මුදල් ඵලදායි ලෙස උපයෝජනය කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. බැඳුම්කර කඩකළ ආචාර්යවරුන්ගෙන් එම මුදල් කඩිනමින් අයකර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් යෙදීමට කළමනාකරණය විසින් කටයුතු කළයුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත.
රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ ආචාර්යවරයකුගේ බැඳුම්කර වටිනාකම මාසික වැටුපෙන් රුපියල් ලක්ෂය බැගින් අයකරගෙන යනු ලබන බවයි. ආචාර්යවරු තිදෙනකු පාලක සභාව විසින් සේවය අත්හැර ගියාසේ සලකා ඇති බවත් ආචාර්යවරු දෙදෙනෙකු මෙතෙක් බැදුම්කර මුදල් ගෙවීමට කටයුතු කර නොමැති බවද විශ්වවිද්‍යාලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. එක් ආචාර්වරියකට ගිවිසුම් හා බැඳුම්කර’ වටිනාකම ගෙවන ලෙසට දැනුම් දී ඇති බවද විශ්වවිද්‍යාලයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
රුහුණ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Share This