වැලිගම සභාපති ඝාතන සැකකරුවෝ එෆ්සීඅයිඩී භාරයට

(යක්කලමුල්ල සඳනුවන් කීර්ති)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එම අවස්ථාවේ දී පලාගිය ප්‍රධාන සැකකරු මහරගම නාවින්න ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව මෙම ඝාතනයට අනුබලදීමේ චෝදනාව යටතේ ගාල්ල හියාරේ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක්ද වැලිගම පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් තවදුරටත් විමර්ශන සිදුකරනු ලබන බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෙම ඝාතනයට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවයේ අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාස නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
