සිව් වසරකට පසු කුවේට් ගුවන් යානා යළි මෙරටට

සිව් වසරකට පසු කුවේට් ගුවන් යානා යළි මෙරටට

(කටුනායක – ටී.කේ.ජී.කපිල)
වසර 04ක පමණ කාලයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරටට පැමිණීමේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් එම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය 27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 31 දින කුවේට් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවා තිබුණි.
මෙම මංගල ගුවන් ගමන සදහා ඒ.- 320 නියෝ වර්ගයේ ගුවන් යානයක් කුවේට් ගුවන් සේවය යොදවා තිබූ අතර එම ගුවන් යානය 27 දින උදෑසන 08.40 ට කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි අතර ජල ආචාර පවත්වමින් කටුනායක ගුවන් තොටුපොළට එය පිළිගනු ලැබීය.
මෙම ගුවන් යානය තුළ මගීන් 94 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු පැමිණ සිටි අතර යළිත් එම ගුවන් යානය මගීන් 105 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු රැගෙන 27 දින උදෑසන 09.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සිටි බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ශ්‍රී ලංකාවේ වැඩබලන කුවේට් තානාපති අල් මුහානා ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ.
මින් පසුව කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ගමන් ගැනීමට නියමිතය.

Share This