අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට තවත් අවුලක්

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට තවත් අවුලක්

-ඉන්දු වනසිංහ-
ගම්පොළ අම්බුළුවාවේ ඉදි කෙරෙමින් පවතින කේබල් කාර් ව්‍යාපෘතියේ කම්බි දිගේ රිලවුන් ගමන් කිරීමේ අවදානමක් ඇතැයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළි වී තිබේ.
මෙම අවදානම මතු කර ඇත්තේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බවද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දැක් වූ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දී ඇත.
එමෙන්ම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ අනුව කටයුතු කරන්නේ නම් ගම්පොළ අම්බුළුවාව ව්‍යාපෘතියේ කිසිදු අවදානමක් ඇති නොවන බවද එම ආයතන දෙකේ නිලධාරින් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පෙන්වා දී තිබේ.
අම්බුළුවාව නායයෑමේ අවදානමක් ඇති බැවින් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගත යුතු බවට උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මහනුවර දිස්ත්‍රික් කමිටුව දැනුවත් කිරීමට ඉදිරිපත් කළ ලිපි දෙකක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතන දෙකේ නිලධාරින් කරුණු පෙන්වා දුන්නේය.
“නාය යාමකට ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් නායයන හිසක් තිබෙන්න ඕනේ. නාය ගලා බසින ක්‍රමයක් තියෙන්න ඕනේ. නාය තැන්පත් වෙන තැනක් තිබෙන්න ඕනේ.
අම්බුළුවාවේ අපි කළ ඒකාබද්ධ නිරීක්ෂණ අනුව නායයාමේ මධ්‍යම අවදානමක් ඇති තැනක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඒ ප්‍රදේශය බෑවුම් සහිත නිසයි. මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ තැන් නායයෑමේ මධ්‍යම අවදානම් ප්‍රදේශ විදියට තමයි හඳුන්වා තිබෙන්නේ. අම්බුළුවාව නාය යනවා නම් ගම්පොළ නගරයේ භාගයක් විතර පදිංචි තැන්වලින් ඉවත් කරන්න වෙනවා. අපි අම්බුළුවාව පාංශු ඛාදනය සහිත ස්ථාන 23 ක් නිරීක්ෂණය කළා. ඒ තැන්වල පාංශු ඛාදනය වළක්වා ගන්න අපි නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිර්දේශ අනුව කටයුතු කරන බවත් ඔවුන් අපිට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා.” යැයිද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පෙන්වා දී ඇත.

Share This