ප්‍රබල විපක්‍ෂ සන්ධානයක් ඉල්ලීමත් සමඟ සජබේ දෙදරීමක්

(ශිරාන් රණසිංහ)
ප්‍රබල ඒකාබද්ධ විපක්‍ෂයක් ගොඩනඟන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය මන්ත්‍රිවරුන් බරපතළ ලෙස බෙදීමකට ලක්වෙමින් තිබෙන බව එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඉකුත් මැතිවරණවලදී සමගි ජන බලවේගය පරාජයට පත්වීමට හේතු රැසක් බලපෑ බවත් වහාම පක්‍ෂය ප්‍රතිසංවිධානයට ලක් කළ යුතු බව පාපර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා මීට පෙරාතුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කළේය.
පක්‍ෂයේ ඇතැම් අය ඉහළ තනතුරු දරමින් සිනටි බවත් ඒ අය ඉවත් කළ යුතු බව ද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
මේ අතර සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන දෛමළ දේශපාලන පක්‍ෂ, මුස්ලිම් දේශපාලන පක්‍ෂ මෙන්ම පසුගිය මහ මැතිවරණයේදී එම බලවේගයෙන් තරග කළ අය මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් පොදු ප්‍රබල විපක්‍ෂයක් ඉල්ලා සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද දැන ගන්නට ලැබේ.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් දූෂණ චෝදනා එල්ල වී සිටින අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රිියාත්මක කරන බවත්, මේ නිසා විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එකට එක් වී කටයුතු කළ යුතුබවට සමගි ජන බලවේගයේ සහ එම පක්‍ෂය සමග කටයුතු කරන බොහෝ දෙනාගේ මතය වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් විපක්‍ෂයේ ප්‍රබල දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට මේ වන විට සජබ හා එක්ව කටයුතු කරන දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්‍ෂ ඇතුළු පාර්ශ්ව ගණනාවක අදහස වී ඇතැයි එම පක්‍ෂ නායකයෝ කිහිපදෙනෙක් ම කියා සිටියහ.
එක්සත් ජාතික පක්‍ෂයේ 79 වැනි සංවත්සරය 20දා ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ හෝටලයක පැවැති අතර එජාපය කළ ආරාධනයට අනුව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, මර්වින් සිල්වා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාරර් ජී. එල්. පීරිස් ආදී විශාල පිරිසක් එක්ව සිටියහ.
ඒ අනුව එ.ජා.ප. 79 වැනි සංවත්සරයට විපක්‍ෂයේ පක්‍ෂ වන සජබ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, සර්වජන බලය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, එක්සත් ජනරජ පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ආදී පක්‍ෂ නියෝජනය කරමින් එක් වූ ඇතැම් පාර්ශ්ව එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දේශපාලන කටයුතු සිදුකල යුතු බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව සමගි ජන බලවේගය තුළ මෙතෙක් නිහඬව සිටි අය ඉදිරි කාලයේදී එළිපිටම එජාප ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.