බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු 12කට අධි චෝදනා

බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු 12කට අධි චෝදනා

-අකිලා නදීෂානි බණ්ඩාර-
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දෙයි.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම නඩුවේ සැකකරුවන් හට අධි චෝදනා ගොනු කරනු ලැබීය. එහිදී අධිචෝදනා භාරදීමෙන් අනතුරුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියාය. සැකකරුවන්ගේ නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් ඇප ඉල්ලා දීර්ඝව කරුණු දැක්වූහ.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13)’ යටතේ විත්තිකරුවන්ට එරෙහිව’නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනකු හා නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය’කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
මේ සම්බන්ධයෙන් පැවැත්වූ මහෙස්ත්‍රාත් අධිකරණ නඩුවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් දහ දෙනෙකු ඇප මත මුදාහැර සිටින අතර පළමු විත්තිකරු ලෙස නම්කර සිටින ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙවූ බව කියන එම සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු යන අය මේවන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර දහවන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදේශගතව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්’කර’තිබිණි.’

Share This