හම්බන්තොට නිවාඩු නිකේතනයකින් අයිස් නිෂ්පාදන රසායන ද්‍රව්‍ය හමු වෙයි

හම්බන්තොට නිවාඩු නිකේතනයකින් අයිස් නිෂ්පාදන රසායන ද්‍රව්‍ය හමු වෙයි

සමන් ගමගේ
කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරනු ලබන පාතාල සාමාජිකයකු වූ ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකරන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී රසායන ද්‍රව්‍ය, උපකරන සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඇඹිලිපිටියේ සුරංග හෙළි කළ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේදී විසිදෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී මෙම ස්ථානය හඳුනා ගන්නට පොලිසිය සමත්ව ඇත.
හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම හෝටලයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පානයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය ලීටර් පනස්දෙකක් සහිත කෑන් 14 ක් සහ තවත් උපකරණ රැසක් සොයා ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම අවන්හලේ තිබී සොයාගත් මෝටර් රථය මේ වන විට විදේශගතව සැඟවී සිටින පාතාල කෙරුමකුගේ නමට ලියාපදිංචි කර ඇතැයිද පොලිසිය පවසයි. මෙම මෝටර් රථය යොදාගෙන දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග යටතේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පානදුරේ නිලංග නමැත්තා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබෙන බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අදාළ මෝටර් රථය මීට පෙර අවස්ථාවක පොලිස් නිලධාරියකු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුට ගෙන මුදාහරින ලද එකක් බවටද පොලිසිය සිදු කළ වැඩිදුර වීමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉරාන ජාතිකයන් දෙදෙනකු සහ මෙරට පුද්ගලයන් කිහිපදෙනකු එක්ව අදාළ අවන්හලේ නේවාසිකව සිටිමින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාන කටයුතු සිදු කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාව වන විට ඉරාන ජාතිකයන් දෙදෙනා මෙරටින් පිටව ගොස් තිබූ බව ද කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් පැවසීය.
මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා කළුතර අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

 

Share This