වසර 60කට පසු කොළඹ මධ්‍යම බස් නැවතුම නවීකරණය අරඹයි

වසර 60කට පසු කොළඹ මධ්‍යම බස් නැවතුම නවීකරණය අරඹයි

(ශිරාන් රණසිංහ)
වසර හැටකට පසුව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 15දා ආරම්භ කෙරිණි.
රුපියල් මිලියන 424ක වියදමින් මෙම නවීකරණය සිදුකෙරේ.
අක්කර තුනහමාරක පමණ ප්‍රමාණයක් විශාල කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මෙරට පොදු ප්‍රවාහනයේ මර්මස්ථානයකි.
දිනකට මගීන් 50,000ක් මෙය භාවිත කරන අතර දිනකට බස් රථ 1,500ක් 2,000ක් අතර සංඛ්‍යාවක් මෙම ස්ථානයේ සිට ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඍජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික විද්වත් සංසදය (NIO Engineering) ඇතුළු සංවිධානද ස්වේච්ඡාවෙන්ම මේ සඳහා එක්ව සිටී.
2026 වසරේ අප්‍රේල් මාසයේදී, සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.
මෙම උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, පොදු ප්‍රවාහනය ශක්තිමත් නොකර, රටක් දියුණු කළ නොහැකි බවයි. පොදු ප්‍රවාහනය රටක ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සුවපහසු, කාර්යක්ෂම සහ අඩු පිරිවැයකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබා දීම තුළින් මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම වේගවත් කළ හැකි බවද සඳහන් කළේය.
සමරු ඵලකය නිරාවරණය කර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවද නිරත විය.
නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රාජ්‍ය නිලධාරීහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහු, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීහු සහ වෘත්තීය සංගම්, වෙළෙඳ සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This