සම්බා සහ කීරි සම්බා කළු කඩ මිලක් අතළඟ

(ශිරාන් රණසිංහ)
සම්බා සහ කීරි සම්බා සහල් මත රජය පනවා තිබෙන උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන ලෙසත්, එසේ නොවුණහොත් නිසැක වශයෙන්ම වෙළෙඳ පොළ තුළ කළුකඩ මිලක් නිර්මාණය වනු ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.
මේ වන විට වෙළෙඳපොළ තුළ සම්බා සහ කීරි සම්බාවල බරපතළ හිඟයක් ඇති වී තිබෙන බවත්, සහල් නිෂ්පාදකයන් කිසිවෙකුට සම්බා සහල් කිලෝවක් මත පනවා තිබෙන රුපියල් 240ක මිලට හෝ කීරි සම්බා කිලෝව රුපියල් 260 මිලට ලබා දිය නොහැකි බව ද ඒ මහතා පෙන්වා දෙයි.
කීරි සම්බා යම් ප්රමාණයක් වෙළෙඳපොළේ සංසරණය වුවත් සම්බා වී තොග සොයා ගැනීමටත් නොහැකි යැයි ද ඒ මහතා පවසයි. එනිසා තියෙන වී මිල ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි. සම්බා සහ කීරි සම්බා උපරිම සිල්ලර මිල අහෝසි කරන ලෙස ද ඒ මහතා කියා සිටියි.
රට තුළ මතු වූ සහල් හිඟය සැලකිල්ලට ගත් රජය ඉකුත් වසරේ දෙසැම්බර් 09 වැනිදා අති විශේෂ ගැසට් පත්රයක් මගින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවනු ලැබීය.