අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
අතුරු සම්මත ගිණුමක් යනු කුමක් ද?
Update – 2025 වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්.
————————————-
2025 වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව අද (05) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊට අදාළ විවාදය අද (05) සහ හෙට (06) යන දෙදින පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවුණා.
අතුරු සම්මත ගිණුමක් යනු කුමක් ද?
අතුරු සම්මත ගිණුමක් යනු අනුමත කරන ලද විසර්ජන (අයවැයක්) නොමැති විට රජයේ ක්‍රියාකාරකම් සඳහා මුදල් වෙන් කිරීම උදෙසා පාර්ලිමේන්තුව මගින් සම්මත කරගනු ලබන යෝජනාවක්.
නීතිමය පදනම
පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන යෝජනාවක් හෝ නීතියක් හරහා වෙන්කළ මුදල් ආපසු පවරා ගැනීමට විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පනවා ඇත. අතුරු සම්මත ගිණුම්වලට ගිවිසුම්වලට අදාළ විශේෂ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝගවල දක්වා නොමැති අතර එය වුවද ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තු සම්ප්රදායයන් හා පිළිවෙත් අනුවය.
මුදල් වෙන් කිරීම
පාර්ලිමේන්තුවේ අරමුදල් වෙන් කරන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සඳහා මිස අලුතින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා නොවේ. දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන වෙනුවෙන් මුදල් වෙන් කෙරෙන්නේ සමාජයට අත්‍යවශ්‍ය වන සේවාවන් පවත්වා ගත යුතු තරම සැළකිල්ලට ගනිමින්.
ආවරණය කෙරෙන කාල සීමාව
අතීතයේදී රජයේ වියදම්වලට මුදල් වෙන් කිරීම මාස 3-4 අතර කාලයක් සඳහා සිදුකෙරුණු අතර ඉන් අනතුරුව වාර්ෂික අයවැය අනුමත කිරීම සිදුකෙරුණා.
අතුරු සම්මත ගිණුමක් සම්මත කරන්නේ කුමන අවස්ථාවලදී ද? කවදා ද?
විසර්ජන පනත හරහා සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති සුවිශේෂි අවස්ථාවලදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනේ.
මේ අතර ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා.