උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන්

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂා සහ සංස්කෘතික අයිතීන් සුරකිමින් අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න තහවුරු කර ගැනීමට රජය කැප වී කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” තේමාව යටතේ 02දා පෙරවරුවේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැති උතුරු පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ එම ජනතාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා, උතුරට නව ආර්ථික අවස්ථා උදා කරදීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද පැවැසීය.
පේදුරුතුඩුව – සිලාවතුර – කෝකිලායි යන නගර තුන යා කරමින් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත උතුරු පොල් ත්‍රිකෝණය ස්ථාපිත කරනවා. මේ යටතේ 2025 වසරේ නව පොල් ඉඩම් අක්කර 16,000ක් වගා කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ වගාකරුවන්ට ඉහළ අස්වැන්නක් සහිත පොල් පැළ ලබා දීමට සහ එම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙන බවද පැවැසීය.
2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 තුළදී එම ඉඩම් ප්‍රමාණය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීම මගින් උතුරු පළාතේ පොල් කර්මාන්ත ස්ථාපිත කරමින් ජනතාවගේ ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 70කින් වැඩි කර ගැනීමටත් අපේක්ෂා කරනවා.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 නියෝජනය කරමින් පොල් වගා කරන ගොවීන් වෙනුවෙන් රජයේ සහනාධාර සඳහා වූ හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
2025 ලෝක පොල් දින සැමරුම වෙනුවෙන් සම්පාදනය කළ සඟරාවද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර, ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නුවන් චින්තක මහතා විසින් ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ ඇගයීම් සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණු බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අපි දන්නවා මේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය පසුගිය කාලයේ විශාල ලෙස යුදගැටුම්වලට මුහුණ දුන් ප්‍රදේශයක්. එම ගැටුම් හේතුවෙන් මේ ප්‍රදේශයේ ජනතාවට සියල්ල අහිමි වුණා. පසුගිය මැතිවරණයේදී මම මේ ප්‍රදේශයේ ජනතාව හමු වුණා. විනාශ වූ මේ ප්‍රදේශයට සහ ජනතාවට යළි ජීවය කැටුව ඒමේ අවශ්‍යතාව අපට තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය මැතිවරණවලදී මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාව අප කෙරෙහි විශ්වාසය තබමින් ප්‍රබල ඉදිරි පියවරක් තබනු ලැබුවා. අප කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ ජනතාව ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාම අපේ අපේක්ෂාවයි.
ඒ සඳහා අපි ක්ෂේත්‍ර කිහිපයක වැඩ ආරම්භ කර තිබෙනවා. පළමුව මෙම ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඉඩම් අයිතිය, භාෂාමය අයිතිය සහ සංස්කෘතික අයිතිය මෙන්ම අතුරුදන්වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ඔවුන්ගේ මූලික අයිතීන් ලෙස අපි දකිනවා. එම අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වූ පියවර රැසක් අපි ආරම්භ කර තිබෙනවා.
දෙවනුව, අපි ඔවුන්ගේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිය යුතුයි. ඔවුන්ගේ අහිමි වූ ආර්ථික අවස්ථා ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක් සකස් කර දීමේ වගකීම අපි රජයක් ලෙස භාර ගන්නවා. ඒ වෙනුවෙන්ද අපි මේ වන විට පියවර රැසක් ගෙන තිබෙනවා.
උතුර කේන්ද්‍ර කරගත් නව කර්මාන්ත කලාප ඇති කිරීම, නව පිබිදීමක් ඇති කළ හැකි සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, වගා සඳහා අවශ්‍ය ජලය ඇතුළු පහසුකම් ලබාදීම වගේම එහි ප්‍රධාන අංගයක් ලෙස අද මෙම පොල් වගා ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
මේ යටතේ, මේ වසරේ පොල් අක්කර 16,000ක් වගා කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ආසන්න වශයෙන්, ගොවි පවුල් 12,000ක් පමණ නියෝජනය කරනවා. එම ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය විශාල පිටිවහලක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ඒ වගේම, අනෙක් පියවර වන්නේ සංස්කෘතික වශයෙන් අපි අතර ඇති කර ගත යුතු ඒකාබද්ධතාවයි. ඒ සඳහා අපි සියලුදෙනාට එක්ව සැමරිය හැකි දිනයක් අපි නම් කර තිබෙනවා. ක්‍රීඩාවෙන් අන්තර් සබඳතා ගොඩනඟා ගැනීම සඳහා අපි වෙහෙසෙනවා. බෙදී වෙන් වී සිටි ජනතාව යළි ඒකාබද්ධ කර ගැනීමේ විශාල ප්‍රයත්නයක අපි නිරත වෙනවා.
මෙහි සිටින අයගේ ජීවිතවලින් විශාල කාලයක් ගෙවා දැමුවේ යුද්ධය සමඟයි. එකිනෙකා පිළිබඳ අවිශ්වාසයෙන්, සැකයෙන්, අවි අමෝරාගෙන වසර තිහක කාලයක් සටන් කළා. එය අපේ රටේ සිදු වූ විශාල ඛේදවාචකයක්. මේ නිසා අපේ රටේ ජනතාව ඈත් වුණා. මේ හේතුවෙන් ජාතිවාදී දේශපාලනයක් ඇති වුණා.
උතුරේත්, දකුණේත් බලය ලබා ගැනීමේ ප්‍රධාන මෙවලම බවට ජාතිවාදය පත් වුණා. එම තත්ත්වය පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව විසින් පරාජය කරනු ලැබුවා. යළි මේ රටේ ජාතිවාදී දේශපාලනයට අපි ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම ජනතාව ලෙස ඔබත්, මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි කියා මම විශ්වාස කරනවා. අපේ ආණ්ඩුවේ අරමුණ සමගිය නිර්මාණය කිරීමයි. ඒ සඳහා ගත හැකි, ආන්දෝලනයට තුඩු දිය හැකි තීන්දු-තීරණ ගැනීමට අපි කිසිසේත්ම බිය වන්නේ නැහැ. ඒ වගේම පැරණි, විනාශකාරී, ජාතිවාදී ඝෝෂාවන්ට අපි ගනු ලබන ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.
මෙම ප්‍රදේශවල ජනතාව විශාල ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳිනවා. පියවරින් පියවර එම ගැටලුවලට විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා. පසුගිය වසරකට ආසන්න කාලය තුළ ඊට අවශ්‍ය මූලික පදනම අපි සකස් කර තිබෙනවා. අද දේශපාලන අධිකාරියෙන් මුළුමනින්ම වංචා, දූෂණ ඉවත් කර තිබෙනවා. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ඉහළ නංවා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා. නැවත ණය ගෙවීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමට අපි වෙහෙසෙනවා.
ඒ වගේම, අතරමඟ නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති වගේම නව ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. සියලු ක්ෂේත්‍රයන්හි නව සංවර්ධනයක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, මේ රට අලුත් රාජ්‍යයක් බවට පත් කිරීමේ පදනම අපි දමා තිබෙනවා. මෙම පදනම මත අපි මේ රට ගොඩනඟනවා. ලෝකයේ ආකර්ෂණය දිනා ගත් සහ ගෞරවයට පාත්‍ර වූ රටක් බවට අපි ශ්‍රී ලංකාව පත් කරනවා. එම ගමනේදී ඔබ සියලු දෙනාගේ සහාය අපි අපේක්ෂා කරනවා. කිසිදු භේදයකින් තොරව මේ රට නව පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට එක් වෙමුයි කියා මම ඔබට ආරාධනා කරනවා.
මහා සංඝරත්නය සහ ආගමික පූජකවරුද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැතිඇමතිවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුද, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, විදේශ රටවල නියෝජිතයෝද, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය, හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.