Update – ඇප හිමි වූ රඹුක්වැල්ල පවුලම බන්ධනාගාරයට

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් නැවත් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. (Update 17.35)
————————————–
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළවය.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 50,000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදා හරිණ ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ලබා දී ඇත.
මෙම නඩුකරය මහෙස්ත්රාත්වරියගේ නිලමැදිරිය තුළ කැඳවූ අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් අයතා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් කළාය.
මෙම සැකකරුවන්ගේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට වාර්තා කර තිබූ අතර ඒ අනුව මෙම විමර්ශන සිදුකළ බව එම නිලධාරීන් කියා සිටියේය.
ඒ අනුව මෙම නඩුකරයේ දෙවන සැකකාරිය වන හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ තුන්වන සැකකාරිය වන දියණියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් විමර්ශනවලදී හමුවී ඇති බව සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම සැකකරුවන්ට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව කී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම සැකකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පවසා ඇත.
මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල නමැත්තියට අයත් සහාධිපත්‍ය දේපළක් තහනමට ගෙන තිබෙන අතර දියණියගේ සැමියා වන පුරස්ථි බණ්ඩාර නමැත්තාට අයත් මෝටර් රථයක් තහනමට ගෙන අල්ලස් කොමිසම භාරයේ රඳවාගෙන තිබෙන බවත් එම නිලධාරින් ප්‍රකශ කර තිබේ. (Update 17.02)