යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳන්න නව යාන්ත්‍රණයක්

යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳන්න නව යාන්ත්‍රණයක්

යුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන බවට යුරෝපා සංගමයේ සභාපති රඩෝස්ලාව් සිකෝර්ස්කි එකඟතාව පළ කර තිබේ.

ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ පැවති හමුවේදී වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන දුෂ්කරතා පිළිබඳව කළ දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙසිනි.

තෙදින නිල සංචාරකයක් සඳහා පෝලන්ත විදේශ අමාත්‍ය ධූරය සහ යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතීත්වය දරන රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා අද (28) මෙරටට පැමිණියේය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට GSP+ සහනය අඛණ්ඩව ලබා දීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමයේ වර්තමාන සභාපතීත්වය දරන පෝලන්තයට ස්තුති කළ අමාත්‍ය විජිත හේරත් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට නිරන්තරයෙන් දක්වන සහයෝගය අගය කළේ ය.

කිසිඳු ආගමික, ජාතික හෝ වාර්ගික කණ්ඩායමකට වෙනස් කොට සැලකීමක් සිදු නොවන අයුරින් අණපනත් සංශෝධනය කිරීමට නව රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතාට පෙන්වා දුන්නේය.

දේශපාලන ස්ථාවරත්වය, මානව හිමිකම් සුරැකීම හා සියලු ජාතීන්ට සමානව සැලකීම පිළිබඳව නව රජය ලබා ඇති ප්‍රගතිය පිළබඳව යුරෝපා සංගමය සෑහීමට පත්ව ඇති බව රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපල වන යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ පවත්වන වෙළඳ සබඳතා තවදුරටත් වැඩි කරගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළ ඒ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ආයෝජකයන් මෙරටට එවීමටත් මෙරටට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත් සහ ඇවැසි වේලාවලට මූල්‍යමය සහාය ලබා දීමටත් යුරෝපා සංගමය සූදානම් බව ද සහතික වූවේ ය.

සිය රට වන පෝලන්ත ජාතිකයින් සඳහා සංචාරය කිරීමට ආකර්ෂණීය ගමනානන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අවධානය හිමි වී ඇති බවත් දැනට වාර්ෂිකව සංචාරකයින් 40000ක වැඩි පිරිසක් මෙරටට පැමිණෙන බවත් පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කියා සිටියේය.

ඍතුමය සේවකයින් සඳහා පෝලන්තයේ රැකියා අවස්ථා ලබා දීම තවදුරටත් වැඩි කිරීමටත් ශිෂ්‍යයන් වෙනුවෙන් අවස්ථා වැඩි කිරීමටත් පෝලන්තය සූදානමින් සිටින බව ද ඔහු අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම්දී සිටියේය.

Share This