පණුවන් සහිත නරක් වු බිත්තරවලින් රයිස් හැදූ හෝටල් ව්‍යාපාරිකයාට වැඩ වැරදුණු හැටි

පණුවන් සහිත නරක් වු බිත්තරවලින් රයිස් හැදූ හෝටල් ව්‍යාපාරිකයාට වැඩ වැරදුණු හැටි

කුකුල් අසූචි සහිත කැඩුණු බිත්තර ගම්පොළ නගරයට බෙදා හරිමින් පණුවන් සහිත නරක් වූ බිත්තරවලින් තම හෝටලයේ රයිස් ,කොත්තු හා බිත්තර රොටී ඇතුළු ආහාර සැකසූ ව්‍යාපාරිකයකු හට ගම්පොළ මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් රුපියල් 53,000 ක දඩයක් නියම කර එම හෝටලයට මුද්‍රා තැබීමට නියම කළාය.

ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල ආසන්නයේ පවත්වාගෙන ගිය හෝටෙල් සෆාරි ඇන්ඩ් බේකරි යන ස්ථානයට මෙසේ මුද්‍රා තබා ඇත.

ලැබුණු මහජන පැමිණිලි මත ගඟ ඉහළ කෝරළයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම හෝටලය පරීක්ෂා කිරීමේදී එහි තිබී කුකුල් අසූචි හා කුකුල් පිහාටු සහිත පණුවන් ගැසූ කැඩුණු බිත්තර 780 ක් සොයාගෙන තිබුණි.

මුළු රටටම කුකුල් මස් බෙදා හරින ගම්පොළ ඇති ඔවුන්ගේ ප්‍රධාන කුකුල් ගොවි පොළකින් ඉතා අඩු මිලට එහි ඇති පලුදු වී ඇති බිත්තර මිලදී ගන්නා මෙම ව්‍යාපාරිකයා එම බිත්තර ගම්පොළ නගරයේ අවට බොහෝ හෝටල් හා රෙස්ටුරන් වෙත ඒවා බෙදාහරණ බවට මහජන පැමිණිලි ලැබී තිබී ඇත.

මෙම මහා පරිමාණ කුකුළු ගොවිපළ ආශ්‍රිත ව්‍යාපාරික ස්ථානයෙන් මෙසේ ලබා ගන්නා කුකුල් අසූචි ඇතුළු අපද්‍රව්‍ය අඩංගු බිත්තර ගම්පොළ නගරය පුරා වෙළඳසැල් හා ලොරි රථ මගින් අලෙවේ කලද ගම්පොළ නගර සභා සෞඛ්‍ය අංශ හෝ වගකිවයුතු නිලධාරින් ඒවා පරීක්ෂාවට ලක් නොකරන බවද මහජනයා පවසති.

මේ අතර ගඟ ඉහළ කෝරළේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් සිදුකළ මෙම වැටලීමෙන් මෙවැනි ව්‍යාපාරිකයන් හෙළිවී ඇති බවද ජනතාව පවසති.

මෙම හෝටලයට අද (28) සිට මුද්‍රා තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක් විය යුතු බවද සඳහන් කළාය.

ගඟ ඉහළ කෝරලයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.ආර්.පි. වික්‍රමසිංහ, ප්‍රදීප් නවරත්න යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුණි.

ගම්පොළ – දිල්හාන් රාජනායක

Share This