‘ශිවගං‌‌ගෛ’ නෞකාවේ මගී ප්‍රවාහන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

‘ශිවගං‌‌ගෛ’ නෞකාවේ මගී ප්‍රවාහන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(සමන් ගමගේ)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනයේ යෙදෙන ‘ශිවගං‌‌ගෛ’ නෞකාවේ මගී ප්‍රවාහන කටයුතු අද  (04) සිට තාවකාලිකව අත්හිටුවා තිබුණ බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය වුවද එම නෞකාව සාමාන්‍ය පරිදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන කටයුතු සිදු කරන බව නෞකාවේ මෙරට නියෝජිත ජයසීලන් මහාලිංගම් මහතා පැවසීය.

මගීන් 178 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 17 ක් ඇතුළුව පුද්ගලයන් 195 දෙනකු සමඟ මෙරටට පැමිණෙමින් තිබූ එම නෞකාව ඊයේ  (03) ගැඹුරු මුහුදේදී පෙරලීයෑමේ අවධානමකට මුහුණු දී තිබුණද පසුව එය ආපසු හරවා ගොස් මුහුදේ පැවති ප්‍රචණ්ඩ බව ඉවත් වීමත් සමඟ සියයක පමණ මගීන් පිරිසක් සමඟ කන්කසන්තුරය වරායට ළඟා වූ බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ පැමිණි ‘ශිව ගංගී නෞකාව එදිනම යළි ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය වෙත පිටව ගොස් තිබේ.

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වරාය වෙතට යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව ඉන්දියාවේ සිට සැතපුම් 15 ක් පමණ දුරින් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරන අතරවාරයේ අයහපත් කාලගුණය සමඟ මුහුදේ ඇතිවූ ප්‍රචණ්ඩ බව හේතුවෙන් අවධානමකට ලක්ව ඇත.

පසුව ආසන්න ප්‍රදේශවල තිබූ බහුදින යාත්‍රා හතරක් එහි පැමිණ නෞකාව අනතුරකට පත්වීම වලකා ගනිමින් මගී ජීවත ආරක්‍ෂා වන පරිදි නැවත හරවා ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය වෙත පිටත් කර යවා තිබේ.

මේ දිනවල උතුරු මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්භාවය මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ හේතු වී තිබෙන අතර ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නෞකා සේවය ආරම්භ කරනු ලැබිණි.

එමගින් ඉන්දායාව සහ ශ්‍රී ලංකාව අතර ගමන් කිරීමේදී තමන්ට විශාල සහනයක් අත්වී තිබෙන බව විශේෂයෙන් උතුරේ ජනතාව පවසති.

Share This