හෙලිකොප්ටර් මිලදී ගැනීමේ වංචා නඩුවෙන් තාඹුගල නිදහස්

හෙලිකොප්ටරයක් ගන්නවා කියලා රුපියල් කෝටි 7ක් වංචා කළා කියන චෝදනාවට සීඅයිඩිය විසින් ගොනු කර තිබුණු නඩුවෙන් අවුරා ලංකා සමාගමේ සභාපති සහ කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගලව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (22) නිදහස් කළා.

නීතිපතිවරයා විසින් “මේ සිද්ධියට එරෙහිව අපරාධ නඩුවක් ගෙනියන්න ප්‍රමාණවත් පදනමක් නැහැ” කියලා දැනුම් දී තිබුණු නිසා සැකකරු නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ වගේම විරංජිත් තාඹුගලට පනවා තිබුණු විදේශ ගමන් තහනමත් ඉවත් කරන බව අධිකරණය දැනුම් දුන්නා.

මෙම නඩුව ගොනු කර තිබුණේ, හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70ක් වංචා කළා කියන චෝදනාව මතයි. ඒ සම්බන්ධයෙන් IWS Holdings පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක විසින් කළ පැමිණිල්ලකට අනුව සීඅයිඩියේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න අධිකරණයට කියා සිටියේ මේ පැමිණිල්ල ද්වේශ සහගතව ගොනු කර තිබෙන එකක් බවයි. එවකට සිටි ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සැකකරු සමඟ අමනාපයෙන් සිටි බවත් ඔහු සඳහන් කළා.

මේ අතර, විරංජිත් තාඹුගල මහේස්ත්‍රාත්වරිය හමුවේ පැය 15කට ආසන්න කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දී තිබුණා.

Share This