ශ්‍රී ලංකාවට එන්න ඉන්න සංචාරකයන්ට අලුත් දොරටුවක්… රටවල් 40කට වීසා නොමිලේ

අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි රටවල් 40ක ජාතිකයින්ට දින 30ක නොමිලේ සංචාරක වීසා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව, මෙම යෝජනාව 2026 මාර්තු 30 වැනිදා කැබිනට් අනුමැතියෙන් පසු සහ පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම යෝජනාව යටතේ ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය, චීනය, ජපානය, ඉන්දියාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල් 40ක ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී දින 30ක නොමිලේ සංචාරක වීසා ලබාගැනීමට හැකිවනවා.

ඒත් මේ සඳහා සියලුම අයදුම්කරුවන් විද්‍යුත් සංචාරක අවසර පත්‍රය (ETA) ලබාගැනීම අනිවාර්ය බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරුව වැනි රටවල ජාතිකයින් සඳහා ETA පද්ධතිය හරහා නොමිලේ අයදුම් කිරීමේ පහසුකමද ලබාදී තිබෙනවා.

නොමිලේ වීසා ලබාගත්තත් දින 30ට වඩා දිගට රැඳී සිටීමට අවශ්‍ය නම් සාමාන්‍ය ගාස්තු ගෙවා වීසා දීර්ඝ කිරීමක් සඳහා ඉල්ලුම් කළ හැකි බවද සඳහන්.

අනෙක් සියලුම රටවල් සඳහා සාමාන්‍ය ETA නීති රීති තවදුරටත් ක්‍රියාත්මක වන බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා.

Share This