මීගමුව වෙරළට ආ යෝධ ඉබ්බන් තිදෙනා

මීගමුවේ සිට කිලෝමීටර් 15 පමණ දුරින් මුහුදේ ඇල්ගීවල පැටලී සිටි යෝධ ඉබ්බන් තුන් දෙනෙකු ධීවරයන්ට ඊයේ (29) අලුයම හමුවී ඇත.
ධීවර යාත්‍රා දෙකකින් මෙම ඉබ්බන් අතරින් දෙදෙනෙකු ගොඩබිමට ගෙනැවිත් ඇති අතර අනෙක් ඉබ්බා ගෙන ඒමට එම ධීවර යාත්‍රා ප්‍රමාණවත් නොවන බව ගොඩබිමට පැමිණි ධීවරයෝ වනජීවී නිලධාරින්ට පවසා තිබේ.
ඒ අනුව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීම මත එම ඉබ්බා ගෙන ඒම සඳහා නාවික හමුදා යාත්‍රාවක් යවා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ගැලපගෝස් යෝධ ඉබ්බන් වියයුතු යැයි විශ්වාස කෙරෙන මෙම ඉබ්බන් ප්‍රමාණයෙන් ඉතා විශාල වන වසර සියයක් පමණ ජීවත් වන ඉබ්බන් විශේෂයක් වන අතර ආහාර හෝ ජලය නොමැතිව වසරක් පමණ ජීවත් විය හැකි සත්වයෙකි.
ශ්‍රී ලංකාවෙන් හමු නොවන මෙම සත්වයා ගොඩබිම වියලි ස්ථානවල පමණක් ජීවත් වන සතෙකි.
ගොඩබිම වියලි පරිසයන්හි පමණක් ජීවත්වන ගැලපගෝස් ඉබ්බන් මෙසේ ඈත මුහුදට වැටුණේ කෙසේ ද යන්න බරපතල ප්‍රශ්නයක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර කීවේය.
ඉන්දියාව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සත්ව ජාවාරම් සිදුවන බවත් එවන් ජාවාරමක දී මෙම සතුන් මුහුදට වැටුණා විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ගොඩබිමට ගෙනැවිත් තිබු එම ඉබ්බන් දෙදෙනා එක් අයෙක් කිලෝ ග්රෑම් 40 -50 පමණ බරින් යුතු සතුන් වෙති.
ඊයේ පෙරවරුව වන විට පළමුව ගොඩබිමට ගෙනැවිත් තිබු කහ පැහැති යෝධ ඉබ්බා පිටිපන ලෙල්ලමේ දී හමුදාවට භාර දී තිබු අතර හමුදා නිලධාරින් විසින් වනජීවී නිලධාරින්ට භාර දී තිබේ.
ගොඩබිමට ගෙන ආ ක`ඵ පැහැති අනෙක් යෝධ ඉබ්බා පිටිපන ලෙල්ලමේ දී අලෙවි කිරීමට සූදානම් වු අවස්ථාවේ එම සතා මිලදී ගත් තැනැත්තෙක් දුන්ගල්පිටිය පොලිසියට භාර දී තිබේ.
පොලිසිය විසින් වනජීවී නිලධාරින්ට එම ඉබ්බා ද භාර දී ඇති අතර මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුදර්ශිමා ප්‍රේමරත්න වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ සතුන් බෙල්ලන්විල පශූ වෛද්‍යවරයා වෙත යැවීමටත් මෙම සතුන් කුමන විශේෂයකට අයත් ද යන්න හඳූනාගැනීමටත් අත්තිඩිය පශූ වෛද්‍යවරයාට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය මැයි මස 9 වැනිදා නැවත කැඳවීමටත් නියෝග කළාය.
මුහුදේ ඇල්ගීවල පැටලී සිටි ඉබ්බා සොයා ගිය නාවික නිලධාරින්ට ඊයේ පස්වරුව වනතුරුත් එම ඉබ්බා සොයාගත නොහැකි වූ බවත් ඔවුන් එම සත්වයා සොයා මෙහෙයුමක් සිදුකරන බවත් වනජීවී නිලධාරිහු පැවැසූහ.
(විනීතා එම් ගමගේ, අකිලා නදීෂානි බණ්ඩාර, මීගමු රේමන්ඩ් අපොන්සු)