ඉන්දු – ලංකා බෝට්ටු සේවය යළිත්

ඉන්දු – ලංකා බෝට්ටු සේවය යළිත්

කන්කසන්තුරේ සිට නාගපට්ටිනම් දක්වා වන මගී බෝට්ටු සේවාව ලබන ජනවාරි මාසයේ සිට යළිත්  ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

පහසුකම් රැසක් සමඟින් සතියකට දින හයක් අදාළ සේවාව ක්‍රියාත්මක කරන බවයි, ‘සුබම්’ බෝට්ටු සේවයේ ආයෝජක පොන්නුසාමි සුන්දර්රාජ් මහතා ප්‍රකාශ කළේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙම බෝට්ටු සේවාව ආරම්භ කළ අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය අත්හිටුවනු ලැබුවා.

ඉන් අනතුරුව එය මේ මස 19 වැනිදා සිට ආරම්භ කිරීමට සැලැසුම් කර තිබුණ ද 23 වැනිදා බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපීඩනයක් ඇති වනු ඇතැයි සිදු කර ඇති පුරෝකථනය හේතුවෙන්  ‍මගී බෝට්ටු සේවාව ආරම්භ කර කිරීම කල්දැමුණු බව සඳහන්.

එක් ගමනාන්තයක් සඳහා  ප්‍රවාහන ගාස්තු ලෙස ඉන්දිය රුපියල් 9700ක මුදලක් නියම කර ඇති අතර යාමට සහ ඒමට ඉන්දියානු රුපියල් 8500ක් අය කිරීමටයි සැලැසුම් කර ඇත්තේ.

එක් පුද්ගලයෙකුට කිලෝග්‍රෑම් 10ක භාණ්ඩ රැගෙන යාමේ අවස්ථාව සලසා දී ඇති බවත් ඊට වඩා වැඩි බරකින් යුතු භාණ්ඩ මලු සඳහා අතිරේක ගාස්තුවක් අය කරනු ඇති.

මේ සම්බන්ධයෙන් වන තොරතුරු මගී බෝට්ටු සේවයට අයත් නිල වෙබ් අඩවි‌යේ දක්වා තිබෙනවා.

ගමන් මලු සඳහා ඉඩ වෙන් කිරීම ගමන ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු බවයි, පොන්නුසාමි සුන්දර්රාජ් මහතා කියාසිටියේ.

මගීන් සඳහා උදෑසන ආහාරය ලෙස ඉට්ලි, පොංගල් වැනි ආහාර ලබා දීමටත් දිවා කාලයේදී එළවළු බිරියානි ලබා දීමටත් සැලැසුම් කර ඇති බව සඳහන්.

එළකිරි යොදාගත් කිරි තේ සහ කෝපි මෙන්ම සිසිල් බීම වර්ගය මගීන් සඳහා ලබා දෙනු ඇති.

එමෙන්ම බදු රහිත වෙළඳසැලක් ද බෝට්ටුව තුළ ස්ථාපති කිරීමට සැලැසුම් කර තිබෙනවා.

මෙම බෝට්ටු සේවාව ‘සුබම්’ ආයතනය විසින් ඍජුව මෙහෙයවන බැවින් ප්‍රවේශ පත්‍ර සහ සංචාරක සැලැසුම් ඇතුළත් sailsubham.com යන වෙබ් අඩවියක් ද හඳුන්වාදී තිබෙනවා.

භාෂා ත්‍රිත්වයෙන් ම මගීන්ට අවශ්‍ය විස්තර ලබාගැනීමේ පහසුව සලසා ඇති බව සඳහන්. රාත්‍රී දෙකක් සහ දිවා කාල තුනක් සඳහා නවාතැන් පහසුකම් ද අදාළ සමාගම විසින් ලබාදෙන අතර ඒ සඳහා ඉන්දියානු රුපියල් 15,000ක් අය කෙරෙනු ඇති.

Share This