රට රැකියාවට ගිය 22 හැවිරිදි තරුණියට අත් වූ ඉරණම

රට රැකියාවට ගිය 22 හැවිරිදි තරුණියට අත් වූ ඉරණම

මිනිස් ජාවාරමේ නිරත වූ හම්බන්තොට සමෘද්ධි සංවර්ධන නිලධාරියා ඇතුළු තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඕමානයේ ගෘහ සේවය සඳහා රැගෙන ගොස් එරටදි විවිධ හිරිහැරවලට ලක්ව මියගිය තරුණිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසින්.

අදාළ නිලධාරියා සහ තවත් සැකකරුවෙක් හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අද (05) සිදු කළ විශේෂ මෙහෙයුමකින්  සෙසු සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි, විදේශ නියුක්ති කාර්යාංශය නිදහස් කළේ.

මරණකාරිය ඇතුළු ඇගේ වැඩිමහල් සහෝදරියට ඩුබායි හි සාත්තු සේවිකා රැකියා ලබාදෙන බවට පවසා ඕමානයේ ගෘහ සේවිකා රැකියා සදහා යොමු කිරිමට මෙම සැකකරුවන් කටයුතු කර තිබෙනවා.

සංචාරක වීසා මත පැමිණීම නිසා රැකියා නොමැතිව ඕමානයේ විවිධ ස්ථානවල මෙම තරුණියන් දෙදෙනා රැකියා සඳහා යොදවා ඇති බවයි, මූලිකා විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.

එහිදී විවිධ හිරිහැර වලට ලක්වූ  22 හැවිරිදි තරුණිය එහිදි මියගිය බවට ඇගේ වැඩිමල් තරුණිය විසින් සිය මවට දන්වා ඇති බව සඳහන්.

බල පත්‍රයක් නොමැතිව සංචාරක වීසා මගින් රැකියා සදහා යොමුකළ මෙම ක්‍රියාව මිනිස් වෙදළාමක් වන අතර එය නීති විරෝධි ක්‍රියාවක් වනවා.

මෙවැනි මිනිස් වෙදළාම්වල නිරතවන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ සභපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නැහැ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඕමානයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාල හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධව කරුණු සොයා බලමින් සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබෙනවා.

Share This