සරණ ගුණවර්ධනට එරෙහිව නඩුව යළිත් විභාගයට

සරණ ගුණවර්ධනට එරෙහිව නඩුව යළිත් විභාගයට

චීන සමාගමක් මඟින් අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ සිදු කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුභසාධන කටයුතු සඳහා එම සමාග‌ෙමන් ලබාදුන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ  යළි විභාගයට ගනියි.

නඩුව අද (27) කැඳ වූ අවස්ථාවේ රජයේ අධි නිතීඥ අකලංක බාල පටබැඳිගේගේ මහතාගේ  මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘතී අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන්නේ ය.

සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 7 වැනිදා සිදු කිරීමට දින නියම කළ විනිසුරුවරයා, එදිනට පැමිණිල්ලේ 17 වෙනි සහ 18වෙනි සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළේය.

චීන සමාගමකින් සිදුකළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන්  වතැන් වූ ජනතාවගේ සුභසාධන කටයුතු සඳහා එම සමාගමෙන් වෙන්කල රුපියල් දොලොස් කෝටී අනූ එක්දාස් පන්සීයක මුදලක් සුබසාධන කටයුතුවලට යොමු නොකර 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ  කටයුතු සඳහා භාවිත කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

(අකිලා නදීෂානි බණ්ඩාර)

Share This