වතු ජනතාවට සේවය කරන්න ප්‍රාදේශීය සභා පනත තවත් සංශෝධන කරන්න ඕනෑ

වතු ජනතාවට සේවය කරන්න ප්‍රාදේශීය සභා පනත තවත් සංශෝධන කරන්න ඕනෑ

බලය විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක් මගින් සියලු පුරවැසියන්ට තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගීවීමට සමාන අවස්ථා සලසා දිය යුතුය. එසේ නොකර ඵලදායි පළාත් පාලන ව්‍යුහයක් පවත්වාගෙන යා නොහැක. පහළ මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය යම් සමාජ කණ්ඩායමකට හෝ යම් පන්තියකට සීමා වූවහොත් දේශපාලන බලය විමධ්‍යගත කිරීමෙන් සියලු පුරවැසියන්ගේ යහපැවැත්ම සහතික කිරීමට ඇති හැකියාව අහිමි වනු ඇත. සැබෑ බලය විමධ්‍යගතකරණයෙහි අදහස වන්නේ කිසිදු භේදයකින් තොරව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සියලු සමාජ කොටස් සහ උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා සමාන නියෝජනයක් ලබා දීමය. එතුළින් සියලු සමාජ කොටස්වල තම දියුණුව හා අභිලාෂන් සාක්ෂාත් කරගත හැකිය.

ගෝලීයකරණය යටතේ බලය විමධ්‍යගත කිරීම සහ පළාත් පාලන ආණ්ඩුකරණය වෙනස් ලක්ෂණ වෙනත් අවශ්‍යතා සහිත ප්‍රාදේශීය මට්ටමේ ජනතාවට අවශ්‍ය සංවර්ධන සැලසුම් ඇති කර ඒවා ඔවුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කර ඔවුන් සවිබල ගන්වා ඒ හරහා ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම සහ ශක්‍යතා සහිත වූවන් බවට පත් කිරීමේ පාලනයක් ඇති කිරීම අවශ්‍යතා පළාත් පාලන ආයතන සතුව පවතියි. මෙම ක්‍රියාවලියේදී මලෛයගම් ප්‍රජාව පසුගාමීව සිටින ආකාරයක් දැකගත හැකිය. එහිදී මෙම ක්‍රියාවලියට එම ජනයාව සම්පූර්ණයෙන්ම ඇතුළත් කරගැනීම ඊට අදාළ පනතින් වසර ගණනාවක් පුරා අවහිර කර තිබිණ.

පළාත් පාලන ආයතන ස්ථාපිත කළ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ඒ ජනතාව සම්පූර්ණයෙන් බැහැර කර ඇති ආකාරයක් දැකගත හැකිය. එහි 19 වන වගන්තයේ (1) වන උපවගන්තියේ ප්‍රාදේශීය සභාවේ අරමුදල්වලින් යම් කොටසක් ගම්වල වැඩ ඉදි කිරීම හෝ වෙනස් කිරීම, වැඩි දියුණු කිරීම හෝ නඩත්තු කිරීම සහ සභාව වෙත සතු කරන ලද හෝ අන් ලෙසකින් පවරන ලද හෝ සභාව විසින් අත්කර ගන්නා ලද යම් දේපළක් පරිපාලනය කිරීමේ කාර්ය සඳහා හෝ මේ පනතේ විධිවිධාන නැතහොත් එය යටතේ සාදන ලද හෝ වෙනත් යම් ලිඛිත නීතියකින් එය යටතේ සාදන ලදැයි සැලකෙන හෝ යහ් අතුරු ව්‍යවස්ථාවක් ක්‍රියාවේ යෙදවීමේ කාර්ය සඳහා කිරීම, යනුවෙන් දක්වා ඇති අතර ඉන් මලෛයම් ජනතාව බැහැර කරනු ලබයි.

අදාළ ක්‍රියාවලියට ඒ ජනතාව ඇතුළත් කරගැනීමේ අරමුණින් 2018 අංක 30 දරණ ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදී. ඒ අනුව පෙර වගන්තියේ තිබු “ගම්වල වැඩ ඉදිකිරීම හෝ වෙනස් කිරීම,” යන වචනය වෙනුවට “ගම්වල හෝ වතු ජනාවාසවල වැඩ ඉදිකිරීම හෝ වෙනස් කිරීම,” යන වචන ආදේශ කිරීමෙන් යනුවෙන් සංශෝධනය කර පළාත් පාලන ආයතන හරහා මහා පරිමාණ වතු ආශ්‍රීතව ජීවත් වන ජනතාවට අවශ්‍ය සංවර්ධන සහ සේවාවන් ලබාදීමට හැකි වපසරියක් ඇති කරන ලදී. එමෙන්ම (2) (ii) වන ඡේදයේ “තෝරාගත් ගම්වල ඒකාබද්ධ සංවර්ධන” යන වචනය වෙනුවට “තෝරාගත් ගම්වල, වතු ජනාවාසවල ඒකාබද්ධ සංවර්ධන” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කර ඇත.

එමෙන්ම වැවිලි ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කිරීම විශේෂ විධිවිධාන සලසාදී තිබේ. ඒ අනුව ප්‍රාදේශීය සභාව විසින් උක්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පසුව සහ අදාළ වත්තෙහි පාලනාධිකාරිය විමසා, අදාළ වැවිලි ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවශ්‍ය පාරවල්, ළිං සහ එම පදිංචිකරුවන්ට අවශ්‍ය පාරවල්, සුබසාධනය සඳහා අවශ්‍ය වන වෙනත් පොදු පහසුකම් ලබා දීම සඳහා ප්‍රාදේශීය සභා අරමුදල උපයෝගී කරගනු ලැබිය හැකිය.

තව ද ප්‍රාදේශීය සභාව විසින්, එකී පාරවල්, ළිං සහ පොදු පහසුකම් ඉදිකිරීම, නඩත්තු කිරීම හෝ සැලැස්වීම පිළිබඳව වන වියදම් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි එම වතුවල හෝ කර්මාන්තවල අයිතිකරුවන්, අදාළ වතුවල පාලනාධිකාරීන් හෝ එම වැවිලි ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ප්‍රාදේශීය සභාව විසින් අනුමත කරනු ලැබිය හැකි පරිදි වන දායක මුදලක් ගෙවිය යුතු බව නියම කරනු ලැබිය යුතුය. තව ද එකී සියලුම දායක මුදල්, එසේ ප්‍රයෝජනයට ලත් ඉඩම් සහ වැවිලි ප්‍රදේශ සඳහා නියම කරන ලද විශේෂ වරිපනම් බද්දක් ලෙස සැලකිය යුතු අතර, ඒවා මේ පනතේ විධිවිධාන යටතේ පනවනු ලැබ ඇති වරිපනම් බද්දක් වශයෙන් අය කර ගනු ලැබිය යුතුය.

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ අරමුණින් පළාත් පාලන ආයතනවලට වෙනස්කම් රාශීයක් කාලයෙන් කාලයට සිදු කර ඇතත් වතු ජනයා ඊට ඇතුළත් කිරීමට අදාළ කිසිදු සංශෝධන මේ දක්වා ඉදිරිපත් කර නැත. ඒ හේතුවෙන් මහා පරිමාණ වතු ජනයාට පළාත් පාලන ආයතන හරහා සේවාවන් ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදුවූ බාධාවන් සහ අභියෝග ජාතික මට්ටමෙන් දැනුවත් වී නොමැති බවට නිරීක්ෂණයවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා පවසයි.

“බි්‍රතාන්‍යයන් විසින් 1931 වසරේදී ඉන්දිය සම්භවයක් සහිත වතුකම්කරුවන්ට ජාතික මට්ටමේ නියෝජිතයන් තේරීමට ඡන්ද අයිතිය ලබා දුන්න ද, අභ්‍යන්තර පරිපාලනයට සහභාගීවීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ගම්සභා සභා මැතිවරණයේදී ඡන්දය භාවිත කරන්න අවස්ථාව ලංකා ආණ්ඩු විසින් මේ ජනතාවට ලබා දුන්නේ නෑ.

මෙයාලා මෙහෙට සේවයට ඇවිත් ඉන්න අය නිසා පළාත් පාලන ආයතන මේ අයට සේව කරන්නේ නෑ කියලා තමයි 1930දී ඇති කරපු නීතියේ සඳහන් වෙලා තියෙන්නේ. ගම්සභා පනත 1987 වසරේදී ප්‍රාදේශීය සභා පනත විදිහට වෙනස් වුණත් පරණ පනත ඒ විදිහටම ආදේශ කරගත්තා මිස සංශෝධන ඇතුළත් කරගත්තේ නෑ. 1987 වසරේදී මේ ජනතාවට නැවතත් ඡන්ද අයිතිය ලැබිලා ඡන්දය ප්‍රකාශ කළත්, ප්‍රාදේශීය සභාව හරහා මේ ජනතාවට සේවය කරන්න නොහැකි තත්ත්වයක් පනතේ තිබුණා. ඒ නිසයි පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු වුණේ. අදාළ සංශෝධන 2015 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 2018 වසරේදී සම්මත කරගත්තා.

දැන් ප්‍රාදේශීය සභා හරහා මහ පරිමාණ තේ වතු ආශ්‍රිත ප්‍රදේශවලට වැඩ කරන්න පුළුවන්. නමුත් වතු පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර සංවර්ධන වැඩ කරන්න ඔනේ කියලා දැක්වෙනවා. වතු හිමිකරුවන් පෞද්ගලික අංශ නියෝජනය කිරීම තමයි මේකට හේතුව. පනත සංශෝධනය කරලා තිබුණාට ඒ ඒ ප්‍රදේශවල තියෙන මංමාවත් වගේ පොදු දේපළ අදාළ ප්‍රාදේශීය සභාවලට පවර ගන්න අවශ්‍යයි. පනත සංශෝධනය කළා කියලා ප්‍රාදේශීය සභාවෙන් මාර්ගයක් සංවර්ධනය කරන්න බෑ. මුලින් ඒ පාර අදාළ ප්‍රාදේශීය සභාව සතු කරගන්න ඔනේ. වතු වීදියක් විදිහට තියෙන එක ප්‍රාදේශීය සභා වීදියක් ලෙස වෙනස් කරගන්න ඔනේ. එහෙම නොකර මේ සංවර්ධන වැඩ කටයුතු කරන්න බෑ. නීතියෙන් තිබුණ බාධාව දැන් නැති කරලා තියෙනවා. මේවා ක්‍රියාත්මක කිරීම ඒ ඒ ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ වගකීමක්.”

මලෛයගම් ජනතාව මෙරට ජාතික තලයේ මැතිවරණ ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී ප්‍රධාන සාධකයක් ලෙස හඳුන්වා දිය හැක. ඔවුන්ගේ ඡන්දය මත බලය ආණ්ඩු රැසක් සිය බලය තහවුරු කරගෙන ඇති ආකාරය මෙරට මැතිවරණ ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වනු ඇත. එම අවස්ථාවලදී ඔවුන් පත් කරනු ලබන මහජන නියෝජිතයන් වැටුප් සහ නිවාස සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කළ ද මෙවැනි නීතිමය සංශෝධන ඉල්ලා නොමැති ආකාරයක් ද දැකගත හැකිය. ඇතැම් අවස්ථාවලදී එලෙස සිදු කරනු ලැබූ ඉල්ලීම් ආණ්ඩු විසින් නොසලකා හැර ඇති අවස්ථා නැතිව නොවේ.

මේ අතර 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතෙහි 171 සහ 173 වගන්ති සහ 184 වගන්ති අනුව මූල්‍ය සහ පරිපාලන රීතියට අනුව සෑම වසරකදීම ඉදිරිපත් කරනු ලබන අයවැය වාර්තාව සඳහා මහජනතාව සමඟ සාකච්ඡා කර අදහස් සහ යෝජනා ලබාගෙන පවතින මූල්‍ය තත්ත්වයට අනුව නිවැරදි පරිපාලනයකින් යුතුව එය සකස් කළ යුතුය. මහා පරිමාණ වතු ක්ෂේත්‍රයට පළාත් පාලන ආයතන හරහා ලබා දෙන සේවාවන් පුළුල් කිරීම පරිපූර්ණ ලෙස සිදු නොවීම වත්මන් පළාත් පාලන ආයතනවල ඇති විශාල අඩුපාඩුවකි. මෙය මහා පරිමාණ වතු ප්‍රදේශවල ස්ථාපිත කර ඇති පළාත් පාලන ආයතන නියෝජිතයන් මුහුණ දෙන විශාල අභියෝගයක් ලෙස දැක්විය හැක. කෙසේ වෙතත් පවතින ගැටලු විසඳාගනිමින් මහා පරිමාණ වතු ආශ්‍රීත ප්‍රදේශවලට අවශ්‍ය සංවර්ධන කටයුතු කිරීමට දැඩි නායකත්වයක් අවශ්‍ය බවත් තම නායකත්වය යටතේ එය ඉතා සාර්ථකව සිදු කළ බවත් කොටගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රාජමනි ප්‍රසාන්ත් මහතා කීය.

“අපේ ප්‍රාදේශීය සභාව ස්ථාපිත කළේ 2018 වසරේදී. මට ඡන්දය දුන්නේ වතුකම්කරු ජනතාව ඒ නිසා මට එයාලාට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කරන්න ඕනේ වුණා. ඒ නිසාම පුළුවන් හැම අවස්ථාවකම ඒ ජනතාවට අවශ්‍ය වැඩ කටයුතු කළා. නගර ආශ්‍රීතව ජනතාව නිතරම කැළි කසල සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා වගේම මහපරිමාණ වතු ආශ්‍රීත ජනතාවගේ ලොකුම ගැටලුව තමයි යටිතල පහසුකම්. ඒ නිසා මේ දෙක හරියට වෙන් කරගෙන වැඩ කරන්න ඕනේ.

මගේ කාලය තුළ අවශ්‍ය සංවර්ධන කටයුතු කරගන්න වතු පාලනාධිකාරියෙන් විරෝධයක් ආවේ නෑ. අනිත් ප්‍රාදේශීය සභාවල තත්ත්වය මොකක්ද කියලා මම දන්නේ නෑ. අයවැය ඉදිරිපත් කළෙත් හැම කෙනෙකුගේම අදහස් විමසලා. ජනතාවගේ අදහස් වගේම සභාවේ නියෝජිතයන්ගෙන් ද අදහස් ගත්තා. ඒ නිසා මම ඉදිරිපත් කළ කිසිම අයවැයක් පරාජය වෙලා නෑ.”

වැවිලි ප්‍රදේශවලට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය නෛතික පසුබිමක් සකස් කර තිබියදී පුද්ගලබද්ධ ක්‍රමය මත සංවර්ධන කටයුතු කිරීම සිදුවීම යනු විශාල ගැටලුවකි. ඒ අනුව බලන අදාළ සංශෝධන සම්බන්ධයෙන් මහපරිමාණ වතු ආශ්‍රීතව ඇති ප්‍රාදේශීය සභාව නියෝජිතයන්ට අවශ්‍ය දැනුම ලබාදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වගකීමකි.

වර්තමානයේ භාවිතයේ පවතින පළාත් පාලන නීතිය, 1987 ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදය යටතේ බලාත්මක කර ඇත. එහෙත් මහා පරිමාණ වතු ප්‍රදේශවල දායකත්වය ආරම්භ කාලයේ සිට අඩුවී තිබේ. ප්‍රාදේශීය සභාවේ මූල්‍ය කාරණා සම්බන්ධයෙන් මහා පරිමාණ වතු ජනයාගේ දායකත්වය ඉතා අඩු වීමට මෙම නීතිය ද එක් හේතුවක් බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණ විය.

වැවිලි ප්‍රදේශ ආශ්‍රීතව පිහිටා ඇති ප්‍රාදේශීය සභාවල භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ වතු ජනාවාස ගම්මාන ලෙස නොපිළිගැනීම සභාවට අවශ්‍ය අරමුදල් සපයා නොගැනීමට ඇති ගැටලුව වෙයි. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ වරිපනම් අය කිරීම පිටස්තර නිවාස මත රඳා පවතියි. කෙසේ වෙතත් මහා පරිමාණ වතුවල සිට ප්‍රාදේශීය සභාවට ඍජුව බදු ගෙවීමට නොහැක. එනම් ප්‍රාදේශීය සභා නීතියට අනුව මහා පරිමාණ වතු සමාගම් පාලනය කරනු ලබන වතු ඉඩම්වලින් අක්කරයක් සඳහා වන වරිපනම් පළාත් පාලන ආයතන අය කර ගනු ලබයි. මෙම බදු අය කිරීමේ දී අදාළ දේපළෙහි ඇති ගොඩනැගිලි, ජනාවාස ඇතුළු දේ එහි හිමිකාරීත්වය දරන පිරිස් බව සලකා ඔවුන්වත් ඔවුන්ගේ දේපළත් වරිපනම් අය කිරීමෙන් සහ අනෙකුත් ගාස්තුවලින් නිදහස් කළ හැකි බව 1987 වසරේ අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ වගන්ති 134 (4) හි දක්වා තිබේ. ඒ අනුව වතු නිවාස සහ එහි සිටින ජනයා වතු පාලනාධිකාරියේ දේපළක් ලෙස සලකා ප්‍රාදේශීය සභාවන්ට මුදල් ගෙවීමෙන් ඔවුන්ව ප්‍රාදේශීය සභාව ඉවත් කර ඇති අතරම ඔවුන් සඳහා තම අරමුදල්වලින් ඉදි කරනු ලබන ගොඩනැගිලි, දේපළ, යන ඒවාට හිමිකම් බලපත්‍රයක්, රැකියා බලපත්‍රයක්, නිවාස වරිපනම් අංක සඳහා ලබා දෙන අනුමැතිය, සේවා සහතිකයක ලබා දී ප්‍රතික්ෂේප කෙරේ.

මහා පරිමාණ වතුවලට ප්‍රාදේශීය සභා තුළින් සේවාවන් සැපයීමේදී ගැටලු පවතින බවත් ඒවා මගහරවා ගැනීමට නව සංශෝධන මාස දෙකක් ඇතුළත සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් පළාත් පාලන ආයතන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානයක්කාර මහතා පැවසීය.

“2018 වසරේ සිදු පළාත් පාලන ආයතන පනත සංශෝධනය කළා වත්තේ අයිතිකාරයාගේ එකඟත්වය ඇතිව සංවර්ධන කටයුතු කරන්න පුළුවන් කියලා. නමුත් ඒක හරියට සිදුවෙන්නේ නෑ. වතු අයිතිකරුවන් ඒකට ඉඩ දෙන්නේ නෑ. ප්‍රාදේශීය සභා පනතේ 23 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පාරවල් ප්‍රාදේශීය සභාව සතු වන්නේය කියලා. නමුත් මේ සංවර්ධන කටයුතු කිරීමේදී විවිධ අසීරුතාවලට මුහුණ දෙන්න වෙනවා. ගොඩාක් වතුවල පාරවල් සෑහෙන්න අබලන් තත්ත්වයේ තමයි තියෙන්නේ. මේවා ගැන හොයන්න ගියාමත් අපිට ඇතුළට එන්න දෙන්නේ නැතිව ගේට්ටුව වහපු වතු පවා තිබුණා. ඉතිං මේවා වෙනස් කරන්න අලු‍ත් නීති හැදෙන්න අවශ්‍යයි. එහෙම නැතිව මේවා කරන්න බැහැ. මේ වෙද්දී අලු‍තින් සංශෝධන එකතු කරමින් ඉන්නවා. තවත් මාස දෙකක් ඇතුළත නව සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා.”

පළාත් පාලන ආයතන පනත අනුව කිසිදු පළාත් පාලන ආයතනයකින් තම සභාවට බදු ගෙවන්නාගේ නමින් ලේඛනයක් නිකුත් කළ හැක. මහා පරිමාණ වතු ආශ්‍රීතව ජීවත් වන පිරිස් තමන් අයත් පළාත් පාලන ආයතවලට බදු නොගෙවන බැවින් ඔවුන් බදු ගෙවන්නන් ලෙස සලකන්නේ නැත. මේ හේතුවෙන් වතු ජනයාගේ නිවාස ඔවුන්ගේ නම් යටතේ පදිංචි කිරීමක් සිදු නොවන අතර ඔවුන්ට අයත් නිවාසවල වටිනාකම තක්සේරු කිරීමේ හැකියාවක් ද නැත.

එම නිසා ප්‍රාදේශීය සභා නියෝජිතයන් සභාවේ අරමුදල් භාවිත කිරීමේදීත් මහා පරිමාණ වතුවලින් සභාවට ආදායමක් නොලැබීමේදීත් නීතිය බාධාවක්ව පවතියි. එම නිසා මේවාට විසඳුම් ලෙස නව ප්‍රතිසංස්කරණයන් අවශ්‍යව තිබේ.

පළාත් පාලන ආයතන හරහා මහා පරිමාණ වතු ක්ෂේත්‍රයට අවශ්‍ය සේවාවන් ලබාදීමට නොහැකිවීම එම ආයතන නියෝජිතයන් මුහුණ දෙන විශාල අභියෝගයකි. අයවැය සකස් කිරීමට සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යෝජනා එම ජනතාව ලබා දුන්න ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී නීතිමය ගැටලුවක් මතු විය හැකිය. වතු ආශ්‍රීත මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වන සභිකයන් සිය ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිති.

1987 වසරේ අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත 2018 වසරේදී පාර්ලිමේන්තුව හරහා සංශෝධනය කළේ, මහා පරිමාණ වතුවල අවශ්‍ය සංවර්ධන සිදු කිරීමේ අරමුණින්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවබෝධය ජාතික මට්ටමට මෙන්ම ප්‍රාදේශීය මට්මට ද ලැබී නැත. විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා වන අනුමැතිය වතු කළමනාකාරීත්වයෙන් ලබා ගැනීම සිදුවී තිබීම අසීරු කරුණක් වී ඇති බවට පෙනී යයි. දැනට භාවිතයේ පවතින පළාත් පාලන නීතිය, 1987 ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදය බලාත්මක කර ඇත. ප්‍රාදේශීය සභාවේ මූල්‍ය කාරණා සම්බන්ධයෙන් මහා පරිමාණ වතු ජනයාගේ දායකත්වය ඉතා අඩු වීමට මෙම නීතිය ද එක් හේතුවක් බවට අනාවරණ වෙයි.

ජෙගන් ගනේෂන්

Share This