දකුණු කොරියානු ජනාධිපති යූන්, අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

දකුණු කොරියානු ජනාධිපති යූන්, අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

දෙසැම්බර් 3 වැනි දින යුද නීතිය පැනවීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් දකුණු කොරියාවේ වැඩ තහනමට ලක් වූ ජනාධිපති යූන් සුක් යෙයෝල්ට එරෙහිව සෝල් අධිකරණයක් විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ, රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිහිපයකට මුහුණ දී සිටින යූන් පසුගිය සති දෙක තුළ ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසි තුනක් නොසලකා හැරීමෙන් පසුවයි.

බලය අයුතු ලෙස පරිහරණය කිරීම යන චෝදනා මත යූන් සුක් යෙයෝල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉල්ලා තිබුණේ ඉරිදා රාත්‍රියේදී යි.

නමුදු ඔහුගේ නීතීඥයින් එය, ‘නීති විරෝධී’ වන බව පෙන්වා දී තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ පළමු වරෙන්තුව මෙය වන බවයි.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ජනවාරි 6 වනදා දක්වා බලපැවැත්වෙන අතර එය ක්‍රියාත්මක වූ පසු යූන්, සෝල් හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ගනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන්.

එමෙන්ම දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක අංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිසි ක්‍රියාවලියට අනුව ක්‍රියාත්මක වන බවයි.

මේ අතර යූන්ගේ නිවස සෝදිසි කිරීමේ වරෙන්තුවක් ද අධිකරණය අනුමත කර ඇති බව සඳහන්.

මීට පෙරද, ජනාධිපති ආරක්ෂක අංශය ප්‍රවේශය අවහිර කිරීම හේතුවෙන් විමර්ශනයේ කොටසක් ලෙස ජනාධිපති කාර්යාලය වැටලීමට පොලිසිය උත්සාහ කළ නමුත් එය අසාර්ථකව තිබුණා.

Share This