මොසැම්බික් හි බන්ධනාගාර කැරැල්ලෙන් 33 දෙනෙකුට ජීවිත අහිමි වෙයි – සිරකරුවන් 1,500 කට වැඩි පිරිසක් පලා ගිහින්
මොසැම්බික් අගනුවර (Maputo) බන්ධනාගාරයක් තුළ ඇති වූ කැරැල්ලකින්, අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
එමෙන්ම කැරැල්ල අතරතුර සිරකරුවන් 1,500 කට වැඩි පිරිසක් පලාගොස් ඇති බවත් සඳහන්.
කෙසේ නමුත් ඉන් සිරකරුවන් 150 දෙනෙකු නැවත අල්ලා ගත් බවයි, එරට බලධාරීන් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ.
මෙම කැරැල්ල හටගෙන ඇත්තේ, මතභේදයට තුඩු දුන් මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් උද්ගත වූ දේශපාලන නොසන්සුන්තාවයෙන් ප්‍රයෝජන ගැනීමක් ලෙස බවයි ඇතැම් බලධාරීන් පෙන්වා දෙන්නේ.
මොසැම්බික් හි දිගුකාලීන (1975 සිට) පාලක පක්ෂයක් වන ෆ්රෙලිමෝගේ බලයේ රැඳී සිටීම දීර්ඝ කළ ඔක්තෝම්බර් මාසයේ පැවති මතභේදාත්මක මැතිවරණයට සම්බන්ධව එරට සිවිල් නොසන්සුන්තාවයන් උත්සන්න වෙමින් පවතී.
විපක්ෂ කණ්ඩායම් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට අනුව, පවත්වන ලද ඡන්දය දූෂිත වූවකි.
මෙවන් වටපිටාවකින් ප්‍රයෝජන ගත් සිරකරුවන් සංවිධානාත්මකව කැරැල්ලක් දියත් කළ බවයි ඇතැම් බලධාරීන් සඳහන් කරන්නේ.
කෙසේ නමුත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හෙලේනා කිඩා ප්‍රකාශ කර ඇත්තේ, නොසන්සුන්තාව ආරම්භ වූයේ බන්ධනාගාරය තුළ බවත් ඊට පිටත විරෝධතා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.
එමෙන්ම මොසැම්බිකානු මාධ්‍යවේදී Clemente Carlos SABC වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, අඩු ආරක්ෂකයින් රාජකාරියේ යෙදී සිටි නත්තල් නිවාඩුවෙන් සිරකරුවන් ප්‍රයෝජන ගත් බවයි.
මේ අතර, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථාන සහ බැංකුවලට එල්ල වූ ප්‍රහාර ඇතුළු ප්රචණ්ඩ ක්‍රියාවලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවත් තහවුරුව තිබෙනවා.