දෛනික කුකුළු මස් අලෙවිය පහත වැටේ
ජනතාවට ප්‍රමාණවත් පරිදි ආදායම් තත්ත්වයක් නොමැතිවීම හේතුවෙන් දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 100 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා පවසනවා.
සාමාන්‍යයෙන් දිනකට කුකුළු මස් මෙට්‍රික් ටොන් 600ක් අලෙවි කෙරුණද, මේ වන විට දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 500ක් දක්වා අඩුවී ඇති බවයි ඒ මහතා කියා සිටියේ.
කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමග ශීත කළ කුකුළු මස් කිලෝවක මිල (සම සහිත) රුපියල් 800ක් දක්වා පහත වැටී තිබෙනවා.
බිත්තරයක මිලද මේ දිනවල රුපියල් 30ත් 33ත් අතර මිලක් දක්වා අඩුවී ඇති බවයි අජිත් එච්. ගුණසේකර මහතා කියා සිටියේ.
කුකුළු මස් සහ බිත්තර මිල ගණන් අඩුවීම හේතුවෙන් කුකුළු ගොවිපොළ හිමියන්ට නිෂ්පාදන වියදමවත් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ඒ මහතා පෙන්වා දුන්නා.
ඒ අනුව, කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 750 ක්ද, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 34 ක්ද වැයවන බවද ඔහු කියා සිටියේ.
කුකුළු ගොවිපොළවල නිෂ්පාදන වියදමෙන් සියයට 75ක් සත්ත්ව ආහාර සඳහා වැයවන බවත්, සත්ත්ව ආහාර සඳහා වැට් ඇතුළුව සියයට 20ක බදු අය කිරීම හේතුවෙන් කුකුළු ගොවිපොළ හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.
සත්ත්ව ආහාරවලින් බදු අය කිරීම අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් කුකුළු මස් සහ බිත්තර අඩු මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට හැකි බවද ඔහු කියා සිටියා.
බිත්තරයකින් රුපියල් 6 ක්ද, කුකුළු මස් කිලෝවකින් රුපියල් 220 ක්ද බදු වශයෙන් රජයට ගෙවීමට කුකුළු ගොවිපොළ හිමියන්ට සිදුවී ඇති බවයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.