රාත්‍රී කාලයේ රථ වාහන රාජකාරි කළයුතු අයුරු ගැන උපදෙස් මාලාවක්

රාත්‍රී කාලයේ රථ වාහන රාජකාරි කළයුතු අයුරු ගැන උපදෙස් මාලාවක්

රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

රථවාහන රාජකාරිවල යෙදී සිටින නිලධාරීන් රාත්‍රී කාලයේ වාහන නැවැත්වීමට සංඥා කිරීමේදී අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දෙනවා.

රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය මෙන්ම එමඟින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරින් අනතුරට පත්වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වීම මෙයට හේතුවයි.

තවද, රාත්‍රී රාජකාරි යොදවන නිලධාරින් එසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් නිරන්තරවම අධීක්ෂණය කළ යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

Share This