සති අන්තයේ රිවස්ටන්වලට පැමිණෙන බස්වලට වාරණයක්

සති අන්තයේ රිවස්ටන්වලට පැමිණෙන බස්වලට වාරණයක්

ලෝක උරුම නකල්ස් කලාපයේ රිවස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම හේතු කොටගෙන ඉතා අධික වාහන තදබදයක් පවතිනවා.

ඒ හේතුවෙන් සංචාරකයින් රැගෙන ආසන 54 සහ ආසන 57 බස්‍ රථ පැමිණීමෙන් වලකින ලෙස සංචාරකයින්ට දැනුම් දීමට තීරණය කොට තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ජාවේදී අනාවරණය වූ තොරතුරු අනුව රිවස්ටන් මාර්ගයේ වාහන දෙකකට මාරුවිය නොහැකි පටු වංගු 07ක් තිබෙන අතර එවැනි වංගුවලදී විශාල ප්‍රමාණයේ බස්‍ රථවලට මාරු වීමට නොහැකි බැවින් මෙම තදබදය උග්‍ර වී තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා තාවකාලික පියවරක් වශයෙන් සති අන්ත දිනවල ආසන 54 සහ 57 බස් රථ පැමිණීම හැකිතාක් දුරට වැලැක්වීමට මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඇතැම් අවස්ථාවල මෙසේ පැමිණෙන බස් රථ සහ වෙනත් වාහන පිටවල පතන ප්‍රදේශයේ ගාල් කොට තිබෙනු දැකිය හැකි බවත් එය මේ ප්‍රදේශයේ ජෙව විවිධත්වයට ද අහිතකර ලෙස බලපා තිබෙන බව ද මෙහිදී හෙළිවුවා.

විශේෂයෙන්ම පිටවල පතනට ආවේනික ගල්පර මැඩියා සහ මාංශ භක්ෂක ශාඛ විශේෂ රැසකට ද මේ තත්ත්වය තර්ජනයක් වී තිබෙනවා.

එබැවින් පෙබරවාරි මාසයේ සිට සති අන්ත දිනවල ආසන 54සහ 57 බස්රථ මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වලකින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටීමට අදාල කමිටුව තීරණය කළා.

නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉහත ප්‍රමාණයේ කිසියම් බස්රථයක් එකී දිනවල පැමිණිය හොත් මාර්ගය එක් පසෙකට ලෙස සලකා ලග්ගල ඇලහැර නාඋල ඔස්සේ රිවස්ටන් කලාපයෙන් බැහැරවෙන ලෙස ද ඉල්ලා සිටියි.

Share This