ජනපති ට්‍රම්ප්ට නඩු පැවරූ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කරයි

ජනපති ට්‍රම්ප්ට නඩු පැවරූ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කරයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරා ඔහුව විමර්ශනයට ලක් කළ අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් කිහිප දෙනෙකුව සේවයෙන් පහ කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.
ඊට බයිඩන් යුගයේ විශේෂ උපදේශක ජැක් ස්මිත් යටතේ සේවය කළ නිලධාරීන්ද අයත්.

ජැක් ස්මිත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් නඩු පැවරීම් දෙකකට නායකත්වය දුන් අයෙක්.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු රහසිගත ලේඛන වැරදි ලෙස ඔහුගේ නිවසේ ගබඩා කර තබා ගැනීම සහ ට්‍රම්ප් 2020 ජනපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල කරමින්, ජැක් ස්මිත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් 2024 දී ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මෙම නඩු පැවරීම් දෙකම අවසන් වූ අතර, එම නඩු දෙකම අවසන් වූයේ ජනාධිපතිවරුන්ට නඩු පැවරීමට නොහැකි ලෙස ඇති අධිකරණ දෙපාර්තමේන්තු ප්‍රතිපත්තිය නිසායි.

මේ වන විට එම නඩු කටයුතු හා සම්බන්ධ වූ අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් විශාල සංඛාවක් සේවයෙන් පහ කරන ලද බව සඳහන්.

මෙම නව ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා දැනට සිටින අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් විශ්වාස කළ නොහැකි බව ට්‍රම්ප් පරිපාලනය දන්වා තිබෙනවා.
මේ අතර අධිකරණ දෙපාර්තමේන්තුවේ “ආයුධකරණය” අවසන් කිරීමට පොරොන්දුවූ ට්‍රම්ප් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා තම සගයන් නම් කිරීම සහ පත් කිරීම ආරම්භ කර ඇති බව සඳහන්.

ට්‍රම්ප් බලයට පත්වීමට ටික කලකට පෙර ජැක් ස්මිත් අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස් වූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව වූ ෆෙඩරල් නඩු දෙකම අවසන් වී තිබෙනවා.

නමුත් මෑතකදී නිව්යෝර්ක් විනිසුරුවරයෙකු ජනාධිපතිවරයාට දඬුවම් නොකර ව්‍යාපාරික වංචාවක් සම්බන්ධයෙන් ට්‍රම්ප් වරදකරු කිරීම තහවුරු කළ අතර, 2020 ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළව ජෝර්ජියාවේ රාජ්‍ය නඩු පැවරීමක් තවමත් විවෘතව පවතින නමුත් එය විභාග කිරීම ප්‍රමාදයන් මාලාවක සිරවී ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.

Share This