මරදාන පොලිසියේදී කාන්තාවක් මිය යාම සැක සහිතයි

මරදාන පොලිසියේදී කාන්තාවක් මිය යාම සැක සහිතයි

මරදාන පොලිස් ස්ථානය තුළ කාන්තාවක් සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී එස්. ශ්‍රීධරන් මහතා අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී මන්ත්‍රීවරයා අවධාරණ කර සිටියේ, පොලිස් සිර මැදිරියේ සිටි කාන්තාව ඝාතනය කර ඇති බවට සැකයක් මතු වන බවයි.

“කාන්තාවක් මරදාන පොලිසියේදී සියදිවි නසාගෙන ඇති බවට පුවත් පළ වී තිබෙනවා. පොලිසිය ඇතුළේ කොහොමද එයා සියදිවි නසාගන්නේ? අත්අඩංගුවට ගත් සිරකරුවෙක් ලෙස කොහොමද එයා මැරෙන්නේ. මේක පිටතින් බලද්දී භයානක සිද්ධියක්. කරුණාකරලා ගරු අමාත්‍යතුමා මේකට වහාම යුක්තිය ඉටු කරන්න අවශ්‍යයි.”

විවෘත වරෙන්තුවකට අත්අඩංගුවට ගෙන තිබූ 32 හැවිරිදි කාන්තාවක් ඊයේ (22) මරදාන පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැලළාගෙන සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

පසුගිය 21 වැනිදා රාත්‍රි 8.45ට පමණ මරාදානේදී අත්අඩංගුවට පත් වූ ඇය තමන් හැඳ සිටි දිග රෙදි කලිසමෙන් ගෙල වැලලාගෙන ඇති බවයි, පොලිසියේ ප්‍රකාශයක් උපුටාදක්වමින් ජාතික පුවත් පතක් වාර්තා කර තිබුණේ.

ඇයට ඇයට එරෙහි නඩුවක් අධිකරණයේ විභාගවෙමින් තිබුණු අතර ඊට පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් ඇය ඊයේ (22) පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සැලැසුම් කර තිබූ පසුබිමක් ඇය අලුයම 04.00ට පමණ සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

Share This