ට්‍රම්ප්ගේ ජනපති නියෝගයට එරෙහිව ප්‍රාන්ත 22 ක් නඩු පවරයි

ට්‍රම්ප්ගේ ජනපති නියෝගයට එරෙහිව ප්‍රාන්ත 22 ක් නඩු පවරයි

ජනපති ධූරයේ වැඩ භාර ගනිමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ විධායක නියෝග සංඛ්‍යාවක් නිකුත් කළා.

ඉන් ජන්ම අයිතිය හරහා ලැබෙන පුරවැසිභාවය පිළිබඳ නියෝගය අති විශේෂ වූවක්.

සඳුදා ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් පසු, රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප්, මව හෝ පියා එක්සත් ජනපද පුරවැසියෙකු හෝ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු නොවේ නම්, එක්සත් ජනපදයේ උපත ලබන දරුවන්ගේ පුරවැසිභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස එක්සත් ජනපද ආයතනවලට නියෝග කළා.

මෙම විධායක නියෝගය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය උල්ලංඝනය කරන බවට අභියෝග කරමින්, අමෙරිකානු ප්‍රාන්ත 22 ක් නඩු පවරා තිබෙනවා.

මැසචුසෙට්ස්, නිව් හැම්ප්ෂයර් සහ වොෂින්ටන් යන ඩිමොක්‍රටික් ප්‍රමුඛ ප්‍රාන්ත 22 ක රජයන් මෙලෙස ජනපති ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ඔහුගේ එම තීරණය මගින්, ඔහු අමෙරිකාවේ පැවැත්මට බාධා කරන බව පවසමින්.

අමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ 1898 ජන්ම හිමිකම් පුරවැසිභාවය පිළිබඳ තීන්දුව උපුටා දක්වමින් සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම්, සිවිල් නිදහස සංගමය, සංක්‍රමණික සංවිධානවල පැමිණිලිකරුවන්, ට්‍රම්ප්ගේ ජන්ම හිමිකම් පුරවැසිභාවය ආපසු හැරවීමට ගත් උත්සාහයට එරෙහිව කටයුතු කරන බවයි පවසා ඇත්තේ.

Share This