අලි – මිනිස් ගැටළුව ගැන මැතිසබයේ අවධානය

අලි – මිනිස් ගැටළුව ගැන මැතිසබයේ අවධානය

අදත් (22) පෙ.ව 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා, දශක ගණනාවක සිට පවතින අලි – මිනිස් ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.

මෙතෙක් පත්වූ සෑම රජයක්ම පාහේ මෙම අලි – මිනිස් ගැටළුවට තාවකාලික පියවරයන් අනුගමනය කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ හේතුවෙන් අලීන් මෙන්ම ජනතාවද දුෂ්කරතාවට පත්වන බව අවධාරණය කළ හේෂා විතානගේ මහතා පැවසුවේ, වත්මන් රජයෙන් හෝ ඊට ප්‍රතිපත්තිමය තීන්දු තීරණයක් ගත යුතු බවයි.

නිරන්තරයෙන් මාධ්‍ය තුළින් මෙම අලි – මිනිස් ගැටුම් පිළිබඳ විවිධ පුවත් දක්නට ලැබෙන බවත්, ජනතාවගේ පීඩාව මේ වනවිට ඉහළගොස් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම ගැටළුව විසඳීමට වත්මන් රජය ගෙන ඇති තීන්දු තීරණ මොනවා ද යන්න මන්ත්‍රීවරයා විසින් විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

මේ ඊට පිළිතුරු ලබාදුන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා,

“අපිට සිද්ධ වෙලා තියෙනවා එක පැත්තකින් වන අලීත් අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගෙන් ජීවිතත් ආරක්ෂා කරගන්න.. ඒ සඳහා විද්‍යාත්මක විසඳුම් සොයන්න අපිට සිද්ධවෙලා තියෙනවා.. ඉක්මණින් මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබාදෙනවා අපි.. ඒ වගේම අපි දැනටමත් මෙම අලි- මිනිස් ගැටළුව තිබෙන ප්‍රදේශවලට ගිහිල්ලා කෙටි කාලීන විසඳුම් ලෙස මේ මොහොතේ අපිට කරන්න පුලුවන් මොනාවද යන්න අපි මැදිහත්වෙලා තියෙනවා..”

මේ අතර පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.

Share This