කොල්කටාහි වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට, ඉන්දීය ස්වේච්ඡා පොලිස් සේවකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙයි

කොල්කටාහි වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට, ඉන්දීය ස්වේච්ඡා පොලිස් සේවකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙයි

කොල්කටාවේදී කනිෂ්ඨ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය ස්වේච්ඡා පොලිස් සේවකයෙකු වන සංජේ රෝයි හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඔහු මෙම සිදුවීමට වරදකරු බව තහවුරු කරන ලද්දේ, ගෙවුණු 18 වැනිදායි.

වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම වාර්තා වූයේ, ගෙවුණු වසරේ අගෝස්තු මාසයේදී යි.

ඉන් පසු එය ‘කාන්තාවන්ට ආරක්ෂාව නොමැතිකම හේතුවෙන් ජාතික කෝපයක්’ ඇති කිරීමට තරම් හේතු වූ අතර, ඇයට යුක්තිය ඉටු කරන ලෙස සහ රජයේ රෝහල්වලට වඩා හොඳ ආරක්ෂාවක් ඉල්ලා සිටිමින් අනෙකුත් වෛද්‍යවරු දින ගණනාවක් පුරා වැඩ වර්ජනයන් හි නිරත විය.

අදාළ වෛද්‍යවරියගේ මළ සිරුර සොයාගෙන තිබුණේ, රජයේ ආර් ජී කාර් වෛද්‍ය විද්‍යාලයේ පංති කාමරයකිනි.

සිදුවීම සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භව තිබුණේ නොවැම්බර් මාසයේදී යි.

නඩු විභාගය ආරම්භ වී දින 57 කට පසු වරද පිළිගත් සංජේ රෝයි අධිකරණයේදී පවසා තිබුණේ ‘තමා වරදට හසු වූ’ බව යි.

ඒ අනුව සාක්ෂි මගින් රෝයිට එරෙහි චෝදනා ඔප්පු කර ඇති බැවින්, ඔහුට නියමිත දඬුවම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ අද දිනයේදී යි.

එහිදී ඔහුට නියමිත දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමේ සිට මරණ දඬුවම දක්වා විහිදෙනු ඇති බවයි වාර්තා වූයේ.

කෙසේ නමුත් අද දිනයේදී මරණ දඬුවම සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔහුට හිමි දඬුවම ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි.

Share This