හිටපු අමාත්‍යවරයෙකු දිවිසැරිය නිමා කරයි

හිටපු අමාත්‍යවරයෙකු දිවිසැරිය නිමා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ඊයේ (11) රාත්‍රීයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මිය යනවිට 98 වන වියේ පසුවුණා.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

අනතුරුව දේහය හෙට (13) රාත්‍රියේ සිට හේනේගම පොකුණුවිට ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරිමට නියමිතයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (15) පොකුණුවිට, හේනේගම ජනසෙත පදනම ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා, එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් 1977 වසරේ පාර්ලිමේන්තුවට පිවිසියා.

1993 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා කළුතර දිසා අමාත්‍ය, පොල් කර්මාන්ත හා භෝග විවිධාංගීකරණ අමාත්‍ය යන අමාත්‍යධුර ද හොඹවනු ලැබුවා.

ශ්‍රී ලංකා දේශපාලනයේ දැනට ජීවත්ව සිටි වයෝවෘද්ධතම දේශපාලනඥයා වශයෙන් සැළකිය හැකි ඔහු 1948 වසරේ පැවැති කුඹුකපත්තුව ගම්කාර්ය සභාවේ මැතිවරණයේදී කනේවල හේනේගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට නිතරගයෙන් පත්වෙමින් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළා.

එම කාල පරාසය තුළ මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු වශයෙන් හොරණ බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු විෂයයෙහි ප්‍රබල දායකත්වයක් ලබා දුන් බව සඳහන්.

පොකුණුවිට ජන සෙත පදනම ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර ඇති ඔහු හොරණ රාජකීය විද්‍යාලයේ ද නිර්මාතෘවරයා වනවා.

 

 

Share This