උපන්දිනයට අරුතක් අරන් ‘JANU29’ අඛණ්ඩව 14 වෙනි වසරටත් – JANU 29 – BLOOD DONATION 2025

උපන්දිනයට අරුතක් අරන් ‘JANU29’ අඛණ්ඩව 14 වෙනි වසරටත් – JANU 29 – BLOOD DONATION 2025

‘උපන්දිනය දවස අමතක නොවන මතකයක් කරගන්න ඔයා මොනවද කරන්නෙ….’

මෙහෙම ඇහුවාම බහුතරයකගේ උත්තර අතර වැඩි හරියක්ම තියෙන්නෙ යාළුවෝ, හිතවතුන් ,පවුලේ උදවිය, ආදරණීයන් එක්ක සාද පැවැත්වීම හෝ උපන්දින කේක් කැපීම වැනි කාරණා.

එහෙම සැමරෙන උපන්දින සැමරුම් අතරෙ තමන්ගේ හිත සුව පිණිසත් තවත් ජීවිත රැසකට ජීවත් වීමට හයියක් වීම පිණිසත් ”සමාජ සත්කාරක කාර්‍යයක්” කළ හැකියි නම්, ඒ තුළ ඇති වටිනාකම ගැන කියන්න වචන නැති තරම්.

වරදවා වටහා ගන්න එපා, අපි මේ කියන්නෙ උපන්දින සාද පවත්වලා සතුටු වෙන එක වැරදියි කියලා නම් නෙවෙයි ඔන්න.

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ කලාකරුවාගේ උපන්දිනය හැමෝම අතරෙ කතාබහට ලක්වන හරි සුවිශේෂී එකක්.

තමන්ගෙ උපන්දිනය තමන්ට සුවිශේෂීයි තමයි, හැබැයි ජනිත්ගේ උපන්දිනය මෙරට දහස් ගණනකගේ ජීවිතවලට සුවිශේෂීයි.

ඊට හේතුව ජනිත්, 13 වසරක් පුරාවට අඛණ්ඩව සිය උපන්දිනය වෙනුවෙන් කළා වූ උතුම් කටයුත්ත.

ඔව්… ඒ ඔබ දැනටමත් දන්නා ‘ලේ දන්දීමේ මහා පිංකම’

එළඹෙන පෙබරවාරි 01 වැනිදාට පැවැත්වීමට නියමිතව ඇත්තේ, එහි සාර්ථක 14 වැනි වැඩසටහන.

දශකයකටත් එහා ජනිත් කරන්නා වූ මේ කටයුත්ත දැන් දැන් බොහෝදෙනා අතර වඩාත් ජනප්‍රියයි.

ඒ නිසාම මේ ගැන විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍යයම නැති තරම්.

ඔහුගේ මෙම කටයුත්තට කලා ක්ෂේත්‍රයේ පිරිස් වගේම සමාජ මාධ්‍යය ඔස්සේ එක්කාසු වන පිරිසකුත් ඉන්නවා. ඒ අතර ජනිත්ගේ රසික රසිකාවියන් ද වනවා.

තරුණයෙක් හැටියට උපන්දින සැමරුමක් සමාජ සත්කාරක කාර්‍යයක් බවට පත්කර ගන්න හිත්දෙන එකත් විශේෂයි.

ඉතින්, මේ තුළින් ජනිත් සමාජයට ලබාදෙන පණිවිඩය සුළුපටු එකක් නෙවෙයි.

වෘත්තියට වටිනාකමක් එක්කාසු කිරීම, හොඳ දේවල් කරන්න කැමැත්ත ඇති තාරුණ්‍යට උත්තේජනයක් සැපයීම වැනි කාරණා රැසක් ඔහු මේ කටයුත්ත හරහා අරමුණු කරගන්නා බව වරෙක සඳහන් කරලා තිබුණා.

ඒ අනුව මෙවරත් ‘JANU 29 – BLOOD DONATION 2025’ වෙනුවෙන් විශාල පිරිසක් එක්කාසුවීමට නියමිතයි.

ඔබත් එහි කොටස්කරුවෙක් වීමට කැමැත්තෙන් පසුවනවා නම්,
එළඹෙන පෙබරවාරි 01 වැනිදා (සෙනසුරාදා) උදෑසන 8.30 සිට දහවල් 01 දක්වා කොළඹ 05 හි පිහිටි ජාතික ලේ බැංකුව වෙත පැමිණෙන ලෙස, ජනිත් කවදත් වගේ සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ මෙලෙස ආරාධනා කර තිබෙනවා…

ඔබට පහත සබැඳිය හරහා පැමිණීම තහවුරු කළ හැකියි

JANU 29 – BLOOD DONATION 2025

Share This