රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඉඟියක්

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඉඟියක්

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඒ අනුව එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිඳු ගැටළුවක් නොමැති බවයි මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ.

“මේ රටේ වෘත්තිකයෝ වැඩ වර්ජනය කරද්දි, උද්ඝෝෂණය කරද්දි, අරගල කරද්දි පේයි ටැක්ස් එක අඩුකරන්න කියලා.. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ගිහින් අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරගන්න කියලා.. අපි තීරණය කරලා තියනවා එම ටැක්ස් එකේ සීමාව 150,000ක් දක්වා ඉහළ දාන්න.. ඒ වගේ අපිට කිසි ගැටළුවක් මතුවෙන්නේ නැහැ මේ තත්ත්වයත් එක්ක වැටුප් වැඩිකරන්න අයි.එම්.එෆ් එනේ කිසි විරෝධයක් මතුවෙන්නේ නැහැ..”

එහිදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක වැටුප් වැඩීවීමක් සිදුකරනවාද? යන්න සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

ඊට නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසින්,

“රුපියල් 25,000ක් කියලා නෑ.. අපි ඉලක්කම බලාගමු, කලබල වෙන්න එපා.. මොකද ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා.. ඔබතුමාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීරණයක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවක ඡන්දය ඉලක්ක කරගෙන.. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා පහුවදා තැපැල් ඡන්දේදි.. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි..”

 

 

Share This