‘Amaran’ හි ගීතයකට දිනේෂ් ගමගේ කළ cover එක, සිවකාර්තිකේයන්ගේ පැසසුමට: ‘Hey Minnale’

‘Amaran’ හි ගීතයකට දිනේෂ් ගමගේ කළ cover එක, සිවකාර්තිකේයන්ගේ පැසසුමට: ‘Hey Minnale’

මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙන, සටහන් ලියවෙන, කවි කතා ලියවෙන අපූරු සිනමා සිත්තමක් තමයි ”අමරන්” (Amaran)

රාජ්කුමාර් පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ අපූරු සිනමා කෘතිය ලංකාවේ අපටත් වඩාත් සමීප, හදවතට දැනෙන, සංවේදී නිර්මාණයක් කිව්වොත් හරි.

මොකද වසර ගණනාවක් පුරාවට පැවති යුද්ධය නිමාවට පත්වුණත්, අදටත් අපේ හදවත්වල ළැඟුම්ගත් ‘අමරණීය විරුවන්ගේ මතකය’ එහෙමමයි.

සමහරවිට එහෙම අමරණීය මතකයක්ව ඇත්තේ ඔබේ ආදරණීය පියා, සහෝදරයා, සැමියා, පුත්‍රයා, ප්‍ර්‍රේමවන්තයා නොඑසේ නම් ළඟම හිතවතෙක් ,මිතුරෙක් වෙන්න පුළුවන්.

ඒ කාටත් ”අමරන්” කියන්නෙ ‘වේදනාත්මක නිර්මාණයක්’ වනවාට සැක නෑ.

”අමරන්” කතා තේමාව මේ ‘අමරණීය විරුවන්’ වටායි ගෙතිලා තියෙන්නෙ.

(මේක බලන්න ම ඕනි නිර්මාණයක් නිසා, කතාව නම් කියන්නෙ නෑ ඔන්න)

මේ තරම් හදවතට සමීප වන අයුරින් ”අමරන්” අපේ ඇස් ඉස්සරහට අරන් එන්නෙ සිවකාර්තිකේයන් (මේජර් මුකුන්ද්) සහ සායි පල්ලවී (ඉන්දු රෙබෙකා වර්ගීස්)

චිත්‍රපටය පදනම්ව ඇත්තේ රාෂ්ට්‍රිය රයිෆල්ස් ප්‍රධානී මුකුන්ද් වර්ධරාජන්ගේ සැබෑ ජීවිත කතාවෙන් බව සඳහන්.

චරිතාපදානයක් ලෙස, එය මුකුන්ද්ගේ හමුදාවේ වසර කිහිපය පමණක් නොව ඔහුගේ ජීවිතයේ සියලු අංග ආවරණය කරන්නක්.

ඒ අනුව එය ශිව් අරූර් සහ රාහුල් සිං විසින් රචිත ‘India’s Most Fearless: True Stories of Modern Military Heroes’ යන පොත් මාලාවේ අනුවර්තනයක් ද වනවා.

 

සිනමාපටය නැරඹූ කවුරුත්, ඒ ගැන තමන්ගේ හදවතට දැනෙන දේ ප්‍රකාශ කරන්න, ඉහත කියූ හැටියට විවිධ ආකාරයෙන් කළ නිර්මාණාත්මක දෑ සමාජ මාධ්‍ය තුළ නිතර දකින්න ලැබෙනවා.

ඒ අතර, නව පරපුරේ ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ කළ අපූරු cover එකක් අහන්න ,දකින්න ලැබුණා.

දිනේෂ් මේ cover එක කරලා තිබුණෙ, චිත්‍රපටයෙ ‘Hey Minnale’ ගීතයට.

”ආදරය තුළ “අමරන්. “ නැතිනම් අමරණීය විරුවන් සිටීද නැද්ද යන්න මම නොදනී….

නමුත් මෙම චිත්‍රපටිය නැරඹූ දාසිට තවම බිමින් තියාගන්න බැරි මොකද්ද වේදනාවක්, හිතේ තිබුණ හින්දම මගේ හිත නිදහස් කරගන්න මේ cover එක කරන්න හිතුනා.

ඉක්මනින්ම tamil original එකක් අහමු..”

ඔන්න ඔහොමයි දිනේෂ් මේ අපූරු වැඩේ රසික සමූහයා වෙත අරන් ඇවිත් තිබුණෙ.

 

ඉතින්, එහෙම දිනේෂ් කළ cover එකට, විශේෂ කෙනෙක් ප්‍රතිචාර දක්වලා.

ඒ වෙනින් කවුරුත් නෙවෙයි, ”අමරන්” හි ප්‍රධාන නළුවා !

සිවකාර්තිකේයන් !!!

කලාකරුවන්ට වටිනාම දේ තමයි ‘ඇගයීම’ ‘අගය කිරීම’ කියන්නෙ. ඉතින් ඒ ඇගයීම මෙහෙම ලැබෙනවා කියන්නෙම, ඔවුන් ඒ තුළ සාර්ථකයි කියන එක.

 

ඔක්තෝබර් 31 ලොව පුරා සිනමාහල්වල නිකුත් කරන ලද ‘අමරන්’ මේ වෙද්දි, බොක්ස් ඔෆිස් වාර්තා තබමින් අති සාර්ථක අන්දමින් තිරගත වනවා.

ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම අනුව එය, 2024 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ දෙවැනි දමිළ චිත්‍රපටය වන බව සඳහන්.

එමෙන්ම, 2024 වසරේ අටවැනි ඉහළම ආදායම් ඉපැයූ ඉන්දීය චිත්‍රපටය ලෙසත් වාර්තා තබා ඇති බව සඳහන් වනවා.

Share This