ඉන්දියාවට ලකුණු 295ක විශිෂ්ට ජයක්: තරගයේ වීරයා ජස්ප්‍රිට් බුම්රා

ඉන්දියාවට ලකුණු 295ක විශිෂ්ට ජයක්: තරගයේ වීරයා ජස්ප්‍රිට් බුම්රා

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 295කින් ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 150ක්.

එහිදී නිතීෂ් කුමාර් රෙඩ්ඩි ලකුණු 41ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 37ක් ලබාගැනීමටයි සමත් වුණේ. පන්දුයැවීමේදී ජෝෂ් හෙල්සවුඩ් කඩුලු 04ක් බිඳහෙළුවා.

ඉන්දීය පළමු ඉනිමට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 104ක් පමණයි.

එහිදී මිචල් ස්ටාක් ලකුණු 26ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 21ක් රැස්කළ අතර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දුයැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 05ක් දවාගත්තා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 46ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩයාම කඩුලු 06ක් දැවී ලකුණු 487ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

එහිදී එහිදී යශස්වි ජයිස්වාල් ලකුණු 161ක්, විරාත් කෝලි ලකුණු 100ක් සහ කේ.එල් රාහුල් ලකුණු 77ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී නෙතන් ලයන් කඩුලු දෙකක් දවාගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 534ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 238ක් පමණයි.

එහිදී ට්‍රවිෂ් හේඩ් ලකුණු 89ක් සහ ඇලෙක් කේරි ලකුණු 36ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනගත්තේ ඉන්දිය කණ්ඩායමේ නායක ජස්ප්‍රිට් බුම්රා වීමත් විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයක් සමඟ තරග හතරකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමටයි, ඉන්දිය කණ්ඩාය සමත්ව ඇත්තේ.

‍ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජය පරාජයන් ප්‍රසාද ලකුණු සටහනට විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා.

මෙහි මුල් ස්ථාන දෙකෙහි රැඳි සිටින කණ්ඩායම් එහි අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති.

ඒ අනුව මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම රැඳි සිටින අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දිය කණ්ඩායමයි.

ඉන්දියානු කණ්ඩායම ලබාගත් මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති.

ඒ අනුව දෙවන සහ තෙවන ස්ථානවල රැඳි සිටින කණ්ඩායමේ එම ලකුණු පරතරය වැඩි වනු ඇති බව සඳහන්.

මේ වනවිට අදාළ ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳි සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලිය කෙරෙහි ඇති බලාපොරොත්තු සුළු වශයෙන් අඩු වනු ඇති බවටයි, ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

Share This