අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමට ගෙන ආ යෝජනාව ක්‍රියාත්මක කළහොත් සිදු වන්නේ කුමක්ද ?
අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් දිර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ, සම්පත් ද සේරම් මහතා සඳහන් කර ඇත්තේ, නීත්‍යානුකූල මද්‍යසාරවල මිල අඩු කිරීමෙන් නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි බව පැවසීම මිත්‍යාවක් බවයි.
ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මතු කළ ප්‍රධාන කාරණා 03ක් පිළිබද මෙම නිවේදනය මගින් පැහැදිලි කර තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මතු කළ ප්‍රධාන කාරණා 3,
1. නීති විරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා නියමාකාරයෙන් නිෂ්පාදනය කරන ලද නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් අඩු මිලට ලබා දීම.
2. නීති විරෝධී මද්‍යසාර භාවිතය නිසා අහිමි වන බදු රජයට ලබා ගැනීම.
3. නීත්‍යානුකූල නොවන මද්‍යසාර නිසා ඇති වන සෞඛ්‍ය හානිය අවම කිරීමට, අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දී නීත්‍යානුකූල නොවන මද්‍යසාර භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරගැනීම.
ඒ අනුව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කළේ, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මෙම යෝජනාව, ඔහු අපේක්ෂිත ඉලක්ක කරා කිසිසේත්ම ළඟා විය නොහැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති යෝජනාවක් බවටයි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ යෝජනාව තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන්නේ කෙසේද යන්න එම මධ්‍යස්ථානය විසින් කරුණු සනාථ කර තිබෙනවා.
1. නීත්‍යානුකූල මද්‍යසාරවල මිල අඩු කිරීමෙන් නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි බව පැවසීම මිත්‍යාවක්.
කුමන භාණ්ඩයක වුවද ඊට ආදේශයක් ලෙස වෙළඳපොළට පැමිණෙන නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන භාණ්ඩ අනිවාර්යයෙන්ම එම නියම භාණ්ඩයේ මිලට වඩා පහළ අගයකින් වෙළදපොළ තුළ අලෙවි වේ. එසේ නොවුනහොත් එම ආදේශක භාණ්ඩයට වෙළදපොළ තුළ ඉල්ලුමක් නොමැති වේ. කසිප්පු හෝ වෙන ඕනෑම නීත්‍යානුකූල නොවන මද්‍යසාරයක මිල, නීත්‍යානුකූල මද්‍යසාරවල මිලට වඩා පහළින් තබා ගත යුතු වේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කරන පරිදි මිල අඩු මද්‍යසාර බෝතලයක් වෙළඳපොළට හඳුන්වා දීම කළහොත් සිදු වන්නේ එම මිලට පහළ අගයකින් නීත්‍යානුකූල නොවන මද්‍යසාර මිල පවත්වාගෙන යාමයි. එම නිසා නීත්‍යානුකූල මද්‍යසාර වල මිල පහළ දැමීමෙන් නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනය කළ හැකි බව මිත්‍යාවක් වන අතර එය මද්‍යසාර සමාගම් වලින් උගන්වන ලද බොරුවකි. මෙය මිත්‍යාවක් බව මෑත ඉතිහාසය ද සාක්ෂි දරයි. 1996 දී හිටපු මුදල් අමාත්‍යවරයා මෙවැනිම තර්කයක් ඉදිරිපත් කරමින් නීත්‍යානුකූල මද්‍යසාර පාලනයට යැයි පවසමින් බියර් බදු 50% කට වැඩි ප්‍රමාණයකින් පහත දමන ලදී. එයින් සිදු වූයේ 200% ට වඩා වැඩි අගයකින් බියර් භාවිතය වැඩි වීමයි. එවකට මුදල් අමාත්‍යවරයාගේ අරමුණ ඉටු වූවා නම් අද අපට නැවත මෙවැනි සාකච්ඦාවක් ඇති වීමට අවස්ථාවක් උදා නොවනු ඇත.
2. නීත්‍යානුකූල නොවන මද්‍යසාර නිසා රටට අහිමි වන බදු, අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමෙන් වළක්වා ගත හැකි බව තවත් මිත්‍යා අදහසක්.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසන ආකාරයට අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමෙන් සිදුවන්නේ, දැනට ඉහළ බදු යටතේ නීත්‍යානුකූල මද්‍යසාර භාවිත කරන පිරිස් එම අඩු මිලට හඳුන්වාදෙන නීත්‍යානුකූල මද්‍යසාර සඳහා විතැන් වීමකි. එම තත්ත්වය තුළ ඉහළ බදු ප්‍රතිශතයක් තුළ අලෙවි වූ මද්‍යසාර වලින් රජයට ලැබුණු බදු ප්‍රමාණය ඉතා ඉහළ අගයකින් පහළ යනු ඇත. තවද නව යොවුන් වියේ පසුවන පිරිස්, මද්‍යසාර භාවිතය ආරම්භ කිරීමටද මෙම යෝජනාව මගින් දිරිගැන්වීමක් සිදු කරයි.
3. නීත්‍යනුකූල නොවන මද්‍යසාර නිසා ඇති වන සෞඛ්‍ය හානිය අවම කිරීමට, අඩුමිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දිය යුතුය, යන්න තවත් මිත්‍යා මතයක්.
ඉහත කරුණු වලින් අවධාරණය කළ ආකාරයට අඩු මිලට නීත්‍යානුකූල මද්‍යසාර බෝතලයක් හඳුන්වා දීමෙන් නීත්‍යානුකූල මද්‍යසාර භාවිතා කරන්නන්ගේ මිලදී ගැනිමේ හැකියාව වැඩි වෙන බැවින් ඔවුන්ගේ මද්‍යසාර භාවිතය වැඩි වේ. එමෙන්ම නීත්‍යනුකූල මද්‍යසාර මිලට අනුරූපව නීත්‍යනුකූල නොවන මද්‍යසාර වල මිල පහළ යාම නිසා එම භාවිතය ද ඉහළ යාමක් සිදු වේ.
එමගින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉහතින් බලාපොරොත්තු වූ තෙවන කාරණයද ඉටු නොවී මද්‍යසාර භාවිතය ඉහළ යාම නිසා භාවිතා කරන්නගේ ශාරිරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය පිරිහීමත් ඔහුගේ පවුලේ සතුට සමගිය අහිමි වී ඔහුටත්, සමාජයටත්, රටටත් ඉතාම අහිතකර තත්වයක් ඇතිවේ. මෙම තත්වය කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව රටේ සෞඛ්‍ය වියදම ඉහළ යාමටත්, වැඩකරන ජනතාවගේ ඵලදායීතාවය අවම වීමටත් සෘජුව අහිතකර ලෙස බලපායි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම අධ්‍යයනයන්ට අනුව කිසිඳු මද්‍යසාරයක් කිසිඳු ප්‍රමාණයකින් ශරීරයට හිතකර නොවන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ.
ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණ වලින් 10න් 8කටම හේතුවක් වන බෝ නොවන රෝග (NCD) ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1 ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දී තිබෙනවා.
රටක මද්‍යසාර පරිභෝජනය ඉහළ යාම එම රටේ මරණ හා රෝගාබාධ ඇති වීම ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකයක් බවට ද හඳුනාගෙන ඇති අතර මද්‍යසාර භාවිතය, දිනකට ශ්‍රී ලාංකිකයන් 50 දෙනකු පමණ මරණයට පත්කරනු ලබනවා.
ඒ අනුව වසරකට ශ්‍රී ලාංකිකයන් 20000ක් පමණ මරණයට පත්කරනු ඇති.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සහ එම දෙපාර්තුමේන්තුවේ වගකීම වන්නේ රටේ ජනතාව මද්‍යසාර භාවිතයෙන් රෝගීන් බවට පත් කරමින්, පවුල් ජීවිත විනාශ කරමින්, රටේ සිදුවන අනතුරු වැඩි කරමින්, දරුවන්ගේ සතුට, නිදහස උදුරා ගනිමින්, කාන්තාවන්ට සිදුවන හිංසනය ප්‍රවර්ධනය කිරීම නොවන බවයි.
ඔවුන්ගේ කාර්යය විය වුත්තේ මද්‍යසාර බදු නිවැරදිව අය කර ගනිමින් නීත්‍යානුකූල නොවන මද්‍යසාර වැළැක්වීමට සහ වෙළඳපොළ තුළ ඇති සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළදපොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රුහැනට ගෙන ඒමත්, එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීමට කටයුතු කිරීමත් බවද එම මධ්‍යස්ථානය අවධාරණය කර සිටියා.
තවද නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින්, රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර මද්‍යසාර සමාගම් වලට වාසි සහගත තත්වයක් ඇති කරමින්, ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.