හෙට සිට අමෙරිකානු රජය අක්‍රිය වෙයිද?

සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කිරීමට රිපබ්ලිකන් පක්ෂය අසමත් වෙයි

හෙට සිට අමෙරිකානු රජය අක්‍රිය වෙයිද?

අමෙරිකා එක්සත් ජනපද රජයේ අක්‍රීය වීමක් වළක්වා ගත හැකි සංශෝධිත කෙටි කාලීන වියදම් පනතක් සම්මත කිරීමට රිපබ්ලිකන්වරු අසමත් වී තිබෙනවා.

පනත සම්මත කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වූ නමුත්, නීති සම්පාදකයින් එයට පක්ෂව ඡන්ද 174 ක් ලබා දී විරුද්ධව ඡන්ද 235 ක් ලබා දී ඇති බව සඳහන්.

කොංග්‍රසය මීට පෙර ද්විපාර්ශ්වික ගිවිසුමකට පැමිණ තිබුණ නමුත්, ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රකෝටිපති එලොන් මස්ක් රිපබ්ලිකන්වරුන්ට බලපැම් කර තිබුණේ ගිවිසුම ප්‍රතික්ෂේප කර නව එකක් නිර්මාණය කරන ලෙසයි.

කෙසේ වෙතත් මෙම සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කිරීමට නොහැකි වීම නිසා හෙට දිනයේ සිට අමෙරිකානු රජය අක්‍රීය වීමට හෝ එහි
සේවා සීමා කිරීමට සිදු වෙතැයි බලධාරීන් පවසනවා.

මේ ආකාරයේ අමෙරිකානු ෆෙඩරල් රජයේ වසා දැමීමක් නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩුවට පෙර මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ට විශාල හිසරදයක් ඇති කිරීමේ හැකියාව ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

මේ සඳහා සෙනසුරාදාට පෙර විසඳුමක් නොමැති නම්, දේශසීමා හරස් මාර්ග සහ ගුවන් තොටුපළවල දිගු පෝලිම් ඇති විය හැකි බවට නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

මීට අමතරව අමෙරිකාවේ සංකේතාත්මක ජාතික වනෝද්‍යාන වැනි ෆෙඩරල් රජය මගින් කළමනාකරණය කරන දර්ශනීය ගමනාන්ත වසා දමනු ඇති.

අමෙරිකානු ගුවන් තොටුපළවලට ආරක්ෂාව සපයන ආයතනවල සමහර සේවකයින් සේවයෙන් පහ කරනු ඇති අතර ගුවන් ගමනාගමන පාලනය ක්‍රියාත්මක කරන ආයතනයේ තත්ත්වයද නොවෙනස්වනු ඇති.

2018-2019 දීත් දින 35 ක කාලයක් මේ ආකාරයට රජය අක්‍රීය වීමක් සිදුවූ අතර එහිදී, කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ගුවන් තොටුපළවල් මෙහෙයුම් මන්දගාමී කිරීමට සිදුවුණා.

ප්‍රධානම කනස්සල්ල වන්නේ මේ ආකාරයට රජයේ අක්‍රීය වීමක් සිදුවුවහොත්, ගුවන් තොටුපළ සේවකයින් ඇතුළු ෆෙඩරල් සේවකයින් මිලියන දෙකකට උත්සව කාලය තුළ වැටුප් නොලැබීමයි.

Share This