සිත්පිත් නැතිව සුනඛ‌යෙකුට පහර දුන් පාපතරයින්ට සිදු වූ දේ

සිත්පිත් නැතිව සුනඛ‌යෙකුට පහර දුන් පාපතරයින්ට සිදු වූ දේ

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ සුනඛයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් 34 සහ 37 යන වයස් කාණ්ඩවල පසුවන අය බවයි, පොලිසිය සඳහන් කළේ.

ඔවුන් විසින් එම සත්ත්වයාට පොල්ලක පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (18) දින සංසරණය වුණා.

ඒ සම්බන්ධයෙන් සුනඛයාගේ හිමිකාරිය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුවයි අදාළ අත්අඩංගුවට ගැනීම සිදු වූයේ.

එහිදී ඇය ප්‍රකාශ ක‌ර තිබුණේ, අදාළ පහරදීම පසුගිය 11 වැනිදා සිදුවී ඇති බවයි.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා සිදු කළ ක්‍රියාව හේතුවෙන් සුනඛයා මේ වනවිට මිය ගොස් ඇති බව සඳහන්.

ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයෙන් එම සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමඟ ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෘෘර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදක් බව සඳහන්.

මේ වනවිට අදාළ සිද්ධිය සත්ත්ව සංවිධාන විසින් ද හෙළා දැක තිබෙනවා.

Share This