ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වු වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වු වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (17) උදෑසන දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 48 තුලදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (17) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව සඳහන්.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

Share This