අනුරාධපුර දැරිය අපයෝජන සිද්ධියේ ඉදිරි නීතිමය පියවර සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ සාකච්ඡාවක
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක්වූ බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙද්දී රට පුරාම දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා.
ඒ අතරේ, මේ සිද්ධියට අදාළ නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව ගැන සොයා බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයත් විශේෂ තීරණයක් අරගෙන තිබෙනවා.
මේ තීරණය ගෙන තිබුණේ අද පාර්ලිමේන්තුවේ පැවැති මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදී. ඒ රැස්වීමට ප්‍රධානත්වය දරලා තිබුණේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය.
ඒ අනුව, මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එක්ක විශේෂ සාකච්ඡාවක් ලබන ජුනි 5 වෙනිදා පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා.
මේ සාකච්ඡාවේදී මේ සිද්ධිය විතරක් නෙවෙයි, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වළක්වන්න රටේ නීති සහ ආයතන තවත් ශක්තිමත් කරන්නේ කොහොමද කියන කාරණා ගැනත් පුළුල්ව කතා කරන්න නියමිතයි.
ඒ වගේම, අනුරාධපුර සිද්ධියට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කරන්නත්, කාන්තා හා ළමා හිංසනය මැඩපවත්වන්න අවශ්‍ය නීති සහ ආයතනික වෙනස්කම් හඳුනාගන්නත් විශේෂ අනුකමිටුවක් පත් කරන්නත් තීරණය කරලා තියෙනවා.
මේ කමිටුවට නායකත්වය දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය.
ඒ සමඟ තවත් මන්ත්‍රීවරියන් සහ නීතිඥවරියන් කිහිපදෙනෙක් මේ කමිටුවේ සාමාජිකාවන් ලෙස කටයුතු කරන්න නියමිතයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ ලොකු සංවේදීභාවයක් සහ කතාබහක් ඇතිවෙලා තිබෙන අතර, දරුවන්ගේ ආරක්ෂාව ගැන රටම නැවත වතාවක් දැඩි අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
