Meningitis රෝගී තත්වය පැතිරීම – පාලනය – වළක්වාගන්න උපදෙස් මාලාවක්
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දවස්වල විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. ඒ “එන්ටරෝවයිරල් මෙනින්ජිටිස්” කියන රෝග තත්ත්වය ගැනයි.
මේ රෝගය මේ වෙද්දී පාසල් සහ ජනතාව එකතුවෙන ස්ථාන ආශ්‍රිතව පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. විශේෂයෙන්ම පාසල් දරුවන් අතර මේ රෝගය වේගයෙන් පැතිරෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා කියලයි ඔවුන් කියන්නේ.
ඒ නිසාම, වසංගත රෝග විද්‍යා අංශය විසින් රට පුරාම සෞඛ්‍ය අංශ සහ අදාළ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තිබෙනවා.
මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ විදිහට උණ, තද හිසරදය සහ වමනය සඳහන් වෙනවා. හැබැයි සැනසිලිදායක කාරණය වෙන්නේ, බොහෝ රෝගීන් දින 7ක් ඇතුළත සුවය ලබන බවයි.
සෞඛ්‍ය අංශ කියන විදිහට, මේ රෝගය පිරිසිදු නොකළ ජලය, ආහාර සහ අත් හරහා පැතිරෙන්න පුළුවන්. ඒ වගේම කැස්ස හෝ කිවිසුම් සමඟ පිටවන බිඳිති මඟින් සහ සමීප සම්බන්ධතා හරහාත් රෝගය බෝවිය හැකි බව සඳහන් වෙනවා.
වෛරසයට නිරාවරණය වුණු දින 3ත් 7ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් කියලත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මේ තත්ත්වය පාලනය කරගන්න නම්, සබන් යොදා අත් හොඳින් සෝදන එක, කැස්ස හෝ කිවිසුම් එනකොට මුඛය සහ නාසය වසාගැනීම, රෝග ලක්ෂණ තියෙන අයගෙන් ඈත්ව සිටීම සහ නිවසේ හොඳ වාතාශ්‍රයක් තබා ගැනීම ඉතා වැදගත් කියලා උපදෙස් දීලා තියෙනවා.
මෙම උපදෙස් මාලාව සකස් කරලා තියෙන්නේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින්.
ඒ වගේම මේ උපදෙස් රට පුරාම සියලු සෞඛ්‍ය අංශ වෙත දැනුම් දීලා තියෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
